December 11, 2017

නසාවු සටන​ (1776)

නසාවු සටන​ (1776)

නසාවු ප්‍රහාරය ඇමරිකානු ස්වාධීනතා යුද්ධවල ආරම්භක අවධියේ සිදුවූ ප්‍රහාරයකි. මෙහිදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති බහමාස් දූපත් හි නසාවු වෙත පහර දෙන ලද්දේ ඇමරිකානු ජනපදිකයන් විසින් පිහිටුවාගන්නා ලද මහාද්වීපික නාවික හමුදාව සහ මහාද්වීපික මැරීන් හමුදාව ය. මෙම හමුදා දෙක වත්මන් එක්සත් ජනපද නාවික හමුදාවේ සහ එක්සත් ජනපද මැරීන් හමුදාවේ පුරෝගාමීහු වූහ.

1775 දී ඇමරිකානු ස්වාධීනතා යුද්ධය ඇරඹුණ පසු එවකට වර්ජිනියා ජනපදයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ඩන්මෝර් සාමි එම ජනපදයේ වූ අවි ආයුධ සහ වෙඩි බෙහෙත් ජනපදිකයන් අතට පත්වීම වැළැක්වීම සඳහා නසාවු වෙත යැවීය. මෙම ආයුධ සහ වෙඩි බෙහෙත් තොගය අල්ලාගැනීමේ අරමුණින් නසාවු නගරයට පහර දීම සඳහා නිදහස් සටන්කාමීහු සැලසුම් සකස් කළෝය.

මෙම ප්‍රහාරයට නායකත්වය දුන් නාවික නිලධාරියා වූයේ කොමදෝරු එසෙක් හොප්කින්ස් ය. මැරීන් හමුදාවට අණ දෙන ලද්දේ එහි පළමු අණදෙන නිලධාරියා වූ සැමුවෙල් නිකොලස් ය.

එසෙක් හොප්කින්ස්
එසෙක් හොප්කින්ස්

නෞකා අටකින් මැරීන් භටයන් 200 කට තරමක් වැඩි පිරිසක් සහ නාවිකයන් 50 ක් පමණ මෙම ප්‍රහාරයට පිටත් වූයේ 1776 පෙබරවාරි 17 වනදා ඩෙලවෙයාර් හි හෙන්ලෝපන් තුඩුවෙනි. ඔවුන් බහමාස් දූපත්වල ග්‍රෑන්ඩ් ඇබකෝ දූපත (විශාල ඇබකෝ) අසළදී එක්ව නසාවු වෙත පහරදීමට සැලසුම් කරන ලදී. ප්‍රහාරය සඳහා පිටත් වූ ෆ්ලයි සහ හෝර්නට් යන නැව් දෙක කුණාටු හේතුවෙන් මගහැරුණ අතර හෝර්නට් නැව ආපසු ඇමරිකාවට හැරී ගියේය. ෆ්ලයි නෞකාව නසාවු වෙත ළඟා වූයේ ප්‍රහාරය අවසන් වූ පසුවයි.

නිව් ප්‍රොවිඩන්ස් දූපතේ නසාවු වරායෙහි ආරක්ෂාව සඳහා මේ වනවිට බලකොටු දෙකක් ඉදිකොට තිබුණි. ඒ කාලතුවක්කු 46 කින් යුත් නසාවු බලකොටුව සහ කාලතුවක්කු 17 කින් යුත් මොන්ටේගු බලකොටුවයි. බහමාස් දූපත් හි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූයේ මොන්ෆර්ට් බ්‍රවුන් ය.

මාර්තු 1 වනදා ග්‍රෑන්ඩ් ඇබකෝ දූපත අසළට පැමිණි ඇමරිකානු නාවික සේනාංකය ඇමරිකාවේ බ්‍රිතාන්‍ය පාක්ෂිකයන්ට අයත් නෞකා දෙකක් අල්ලාගත් හ. පසුව එම නැවියන්ට මග පෙන්වන්නන් ලෙස කටයුතු කිරීමට බල කෙරුණි. මේ අතර ජෝර්ජ් ඩෝර්සෙට් නම් කපිතාන්වරයකු ග්‍රෑන්ඩ් ඇබකෝ සිට ඇමරිකානු නිදහස් සටන්කාමීන්ට හසු නොවී නසාවු වෙත ගොස් බහමාස් දූපත් වෙත පැමිණ ඇති නාවික සේනාංකය පිළිබඳ අනතුරු ඇඟවීය.

ඇමරිකානු හමුදා සැලසුම් කළේ මාර්තු 3 වනදා අරුණාලෝකය සමඟ ම නසාවු වෙත කඩා වැදීමට ය. එමගින් බ්‍රිතාන්‍යයන් පුදුම කිරීමට හැකි වෙතැයි ඔවුහු සිතූහ. නමුත් කළින් ලද අනතුරු ඇඟවීම හේතුවෙන් ඇමරිකානු නෞකා වරායට ඇතුල් වනවිටම නසාවු බලකොටුවෙන් ඒවාට වෙඩි තබන ලදී. ඒ අනුව ඇමරිකානු නෞකා පසු බැස්සෝ ය.

නාවික සැතපුම් හයක් පමණ ඈත හැනෝවර් සවුන්ඩ් ප්‍රදේශයට පසු බැස ගිය ඇමරිකානු සේනාංක දහවල් කාලයේදී වෙනත් ස්ථානයකින් ගොඩ බැස මොන්ටේගු කොටුව දෙසට පැමිණියහ. බ්‍රිතාන්‍ය සේනා බලකොටුව අතැර ගියෙන් ඇමරිකානුවෝ එය අල්වා ගත් හ.

මැරීන් හමුදාවේ අණදෙන නිලධාරී සැමුවෙල් නිකොලස්
මැරීන් හමුදාවේ අණදෙන නිලධාරී සැමුවෙල් නිකොලස්

නමුත් මෙහිදී ඔවුන් ප්‍රධාන වරදවල් දෙකක් කළ හ. නගරය දෙසට හමුදා මෙහෙයවී නම් එය යටත් කරගැනීමට ඉඩ තිබුණ ද ඒ බව නොදැනුම හෝ අවදානමක් ගැනීමට නොකැමැති වීම හේතුවෙන් ඇමරිකන්වරුන් එම පියවර නොගත් හ.

එමෙන්ම නසාවු වරාය අවුරාලීමට එකදු නැවක් හෝ නැවැත්වීමට ඇමරිකානුවෝ ක්‍රියා නොකළෝය. එදින සන් ධ්‍යා භාගයේ සිට බ්‍රිතාන්‍යයෝ වරායේ වූ නෞකා දෙකකට තමන් සතු වූ වෙඩි බෙහෙත් තොගවලින් හැකි ප්‍රමාණය පැටවූහ. අලුයම දෙකට එම නැව් ෆ්ලොරීඩාවේ සාන්ත ඔගස්ටීන් වෙත පිටත් වූහ.

ඊළඟ දින උදෑසන නසාවු නගරය යටත් විය. ඇමරිකානුවෝ සති දෙකක් එහි රැඳී සිට ඉන්පසු ආපසු ජනපද කරා ගියහ. ආණ්ඩුකාර බ්‍රවුන් සිරකරුවකු ලෙස ඔවුන් විසින් රැගෙන යන ලද අතර බ්‍රිතාන්‍යයේ යුධ සිරකරුවකු බවට පත් වූ ඇමරිකානු ජෙනරාල් විලියම් ඇලෙක්සැන්ඩර් වෙනුවට පසු කාළයකදී හුවමාරු කරගන්නා ලදී.

ප්‍රධාන ඡායාරූපය: ඇමරිකානු ජනපදිකයන් නිව් ප්‍රොවිඩන්ස් දූපතට ගොඩ බසින අවස්ථාව. වී. ස්වෙග් (V. Zveg) විසින් අඳින ලද චිත්‍රයකි

Related posts

Leave a Reply