December 11, 2017

ජීවිත 20 ක් ගලවාගත් සෝවියට් ආර්මේනියානු පිහිනුම් ශූරයා

ජීවිත 20 ක් ගලවාගත් සෝවියට් ආර්මේනියානු පිහිනුම් ශූරයා

ශවාර්ෂ් කරාපෙට්යාන් (උපත 1953 මැයි 19) පැරණි සෝවියට් දේශයේ කොටසක් වූ ආර්මේනියාවේ ජීවත් වූ වරල් මගින් පිහිණීමේ (Finswimming) ක්‍රීඩකයෙකි. එම ක්‍රීඩාවෙන් ඔහු සෝවියට්, යුරෝපා සහ ලෝක මට්ටමෙන් ශූරතා දිනාගෙන තිබේ. නමුත් ඔහු වඩාත්ම ප්‍රකට වූයේ 1976 සැප්තැම් බර් 16 වනදා දියේ ගිලෙමින් සිටි 20 දෙනකුගේ ජීවිත ගලවා ගැනීම හේතුවෙනි.

කරාපෙට්යාන් උපත ලද්දේ ආර්මේනියාවේ උතුරුදිග ප්‍රදේශයේ වන කිරොවකාන් (වර්තමාන වනඩ්සෝර්) නගරයේ ය. 1964 දී ඔහු යෙරවාන් වෙත පදිංචියට ගියේය.

1976 සැප්තැම්බර් 16 වන දින ඔහුගේ සහෝදර කාමෝ සමඟ යෙරවාන් විල අසළ ව්‍යායාම කරමින් සිටි ශවාර්ෂ්ට විශාල යමක් ජලයට වැටෙන හඬ ඇසිණ. එවිට ඔහු දුටුවේ ට්‍රොලි බසයක් විලට වැටී ඇති බවයි. එය විලෙහි ඉවුරෙන් මීටර 25 ක් පමණ ඈත මීටර 10 ක් ගැඹුරු විල් පතුලෙහි තිබුණ අතර කරාපෙට්යාන් ඒ වෙත කිමිද, සිය දෙපයින් එහි වීදුරුවක් බිඳ, පිරිස ගලවාගන්නට උත්සාහ කළේය.

ඔහු එකින් එක පුද්ගලයින් දිය මතුපිටට ගෙන ආ අතර ඔහුගේ සහෝදරයා ඔවුන් වෙරළට ගෙන ගියේය. මෙසේ තිස් වතාවක් පමන කරාපෙට්යාන් දිය යට කිමිද පිරිස් ගොඩ ගත්තේය.

ඔහු ගොඩගත් අයගෙන් 20 දෙනකුගේ දිවි ගැලවිණ.

නමුත් වීදුරුවලට දෙපා තුවාල වීම සහ අධික වෙහෙස හේතුවෙන් කරාපෙට්යාන් අවසානයේ දුර්වලව ඇද වැටුණි. ඔහු දින 45 ක් සිහි මුර්ඡා වී සිටි අතර මෙම සිද්ධියෙන් පසු ඔහුගේ ක්‍රීඩා දිවියට නැවතීමේ තිත තබන්නට සිදු විය.රාපෙට්යාන්ගේ වීරක්‍රියාව කළක් යනතුරු සෝවියට් ජනයා දැන සිටියේ නැත. 1982 ඔක්තෝබර් 12 දින කොම්සොමෝල්ස්කා ප්‍රව්දා පුවත්පතෙහි වූ වාර්තාවකින් ඔහු ජනප්‍රියත්වයට පත් විය.

පසු කලෙක කරාපෙට්යාන් මොස්කව්හි පදිංචියට ගියේය. ඔහු 2014 සෝචි සිසිර ඔලිම්පික් උළෙලට පෙර ඔලිම්පික් පන්දම් රැගෙන යාමට ද සහභාගී වූයේය.

Related posts

Leave a Reply