January 17, 2018

කටාර් සන්නද්ධ හමුදා

කටාර් සන්නද්ධ හමුදා

කටාර් රාජ්‍යයට කුඩා ත්‍රිවිධ හමුදාවෝ වෙති. මෙම හමුදා තුනෙහි සමස්ථ පිරිස් ශක්තිය 11,800 ක් පමණ වේ. ඉන් 8,500 ක් යුධ හමුදාවේ ද 1,800 ක් නාවික හමුදාවේ ද, 1,500 ක් ගුවන් හමුදාවේ ද වෙති.

කටාර් ත්‍රිවිධ හමුදාවන් හි සේනාධිනායකයා වන්නේ එරට එමීර්වරයා ය. වත්මන් කටාර් එමීර්වරයා වන්නේ තමීම් බින් හමාඩ් අල් තානි ය.

කටාරය ප්‍රධාන පෙලේ ලෝක බලවතුන් කිහිප දෙනෙකු, එනම් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සමඟ ආරක්ෂක ගිවිසුම්වලට එළඹ ඇති අතර ඇමරිකානු හමුදා කඳවුරක් ද එරට පිහිටියේය. ඒ අල් උදෙයිද් ගුවන් හමුදා කඳවුරෙහි ය. එහි කටාර් සහ බ්‍රිතාන්‍ය සෙබලු ද රැඳී සිටිති.

කටාර් ආරක්ෂක අංශ සතුව සැළකිය යුතු ගුවන් ආරක්ෂණ පද්ධතීන් වෙති. මේ අතර ඇමරිකාවේ නිෂ්පාදිත පේට්‍රියට් (Patriot PAC-3) සහ තාඩ් (THAAD) මිසයිල ද, ප්‍රංශයේ මිස්ට්‍රාල් (Mistral) සහ රෝලන්ඩ් (Roland) මිසයිල ද බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත රේපියර් (Rapier) සහ බ්ලෝපයිප් (Blowpipe) මිසයිල ද වේ.

මේ අතර කටාර් රාජ්‍යය නවීන ලෙපර්ඩ් 2A7 යුධ ටැංකි සමූහයක් ජර්මනියෙන් ඇණවුම් කර ඇත. වර්තමානයේ ලොව ඇති නවීනම යුධ ටැංකිය ලෙස ඇතැමුන් විසින් එය සළකනු ලබයි.

කටාර් සන්නද්ධ හමුදා පිහිටුවන ලද්දේ 1971 දී බ්‍රිතාන්‍යයෙන් පූර්ණ නිදහස ලද පසු ය. 1991 ගල්ෆ් යුද්ධයට ද සම්බන්ධ වූ කටාර් රාජ්‍යය 2011 දී ලිබියාවේ පියාසැරි තහනම් කලාපය (No Fly Zone) ස්ථාපිත කිරීම සඳහා දායක විය. මෑත කාළයේදී යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහි සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයේ සාමාජිකයකු ලෙස ද කටාර් රාජ්‍යය කටයුතු කළේය.

2017 ජූනි මුලදී සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාරය සමඟ තානාපති සබඳතා අත් හිටවූ අතර එයින් පසු ඔවුන් යේමනයේ හූති විරෝධී සන්ධානයෙන් ද ඉවත් කෙරුණි.

About The Author

Related posts

Leave a Reply