December 11, 2017

ඩැනියෙල් ෆැරන්හයිට්

ඩැනියෙල් ෆැරන්හයිට්

ඩැනියෙල් ගේබ්‍රියෙල් ෆැරන්හයිට් (1686 මැයි 24 – 1736 සැප්තැම්බර් 16) උෂ්ණත්වමිතිය පිළිබඳ කළ පර්යේෂණ හේතුවෙන් ප්‍රකට වූ භෞතික විද්‍යාඥයෙකි. උෂ්ණත්වමිතිය පිළිබඳ පුරෝගාමී අධ්‍යයනයන් හි නිරත වූ ඔහු උෂ්ණත්වය මැනීම සඳහා පිළිගත් පරිමාණයක් හඳුන්වා දුන් පළමුවැන්නා විය. එය ෆැරන්හයිට් පරිමාණය නම් වේ. එම පරිමාණය භාවිත කරමින් රසදිය-වීදුරු උෂ්ණත්වමානයක් ද ඔහු නිර්මාණය කළේය.

එවකට පෝලන්ත – ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලයේ පොමරේනියා පළාතට අයත්ව තිබූ ඩැන්සිග් නගරයෙහි ජර්මානු ජාතික පවුලක ඩැනියෙල් ගේබ්‍රියෙල් ෆැරන්හයිට් උපනේය. ඔහු වැඩි කලක් ජීවත් වූයේ නෙදර්ලන්තයේ ය. 1701 දී සිය දෙමාපියන් මියගිය පසු ෆැරන්හයිට් වෙළෙඳාම ඉගෙන ගැනීමට වුවද ස්වාභාවික විද්‍යාවන් කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේය.

මුලින්ම මධ්‍යසාර – වීදුරු උෂ්ණත්වමාන වැඩිදියුණු කිරීමට පරීක්ෂණ කළ ෆැරන්හයිට් පසුව රසදිය කෙරෙහි අවධානය යොමු කළේය. 1724 දී ඔහු සිය පරිමාණය පිළිබඳ රාජකීය සංගමය ඉදිරියේ ඉදිරිපත් කළේය. එම වසරේ ඔහු එහි සාමාජිකයකු ලෙසද පිළිගනු ලැබුණි.

ඔහු සිය ෆැරන්හයිට් පරිමාණය සඳහා ඔහු වීදුරු බටයක රසදිය කඳක උස ලබාගෙන පරිමාණය නිර්මාණය කළේය. ජලය, අයිස් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් අඩංගු මිශ්‍රණයකදී රසදිය කඳ පෙන්වන උස අංශක 0 ලෙස ද, අයිස් සෑදීගෙන එන අවස්ථාවේ ජලයෙහි පෙන්වන උස අංශක 32 ලෙස ද ගත් ඔහු ජලය නටන උෂ්ණත්වය 212 ලෙස ගත්තේය.

ෆැරන්හයිට් 1736 සැප්තැම්බර් 16 වනදා නෙදර්ලන්තයේ හේග් නුවරදී මිය ගියේය.

Related posts

Leave a Reply