December 11, 2017

1985 සැප්තැම්බර් 19 මෙක්සිකෝ භූ කම්පනය​

1985 සැප්තැම්බර් 19 මෙක්සිකෝ භූ කම්පනය​

1985 සැප්තැම්බර් 19 වනදා මෙක්සිකෝවේ වේලාවෙන් උදෑසන 7.18 ට එරටට බලපෑ මැග්නිටියුඩ් 8.1 ක භූ කම්පනයක් සිදු විය. මෙහි අපිකේන්ද්‍රය වූයේ මෙක්සිකෝ සිටි අගනුවරට සැතපුම් 250 ක් පමණ (කිලෝ මීටර් 350 කට මදක් වැඩිය) බටහිරින් මිකොයකාන් ප්‍රාන්තයේ වෙරළෙන් ඔබ්බෙහි පැසිෆික් සාගරයේ ය.

මෙම භූ කම්පනය මෙක්සිකෝවට විශාල විනාශයක් ගෙන ආයේය. වැලි සහිත පොළවක් මත පිහිටි මෙක්සිකෝ සිටි අගනුවර සාමාන්‍යයෙන් භූ කම්පනවලින් දැඩි අලාභ හානි සිදුවීමේ ඉඩ ඇති නගරයකි. මෙම භූ කම්පනය එහි විශාල ව්‍යසනයක් සිදු කළේය. නියම ආකාරයෙන් ඉදිකළ ගොඩනැගිලි පවා කඩා වැටෙද්දී එතරම් හොඳින් ඉදි නොකළ ගොඩනැගිලි කඩා වැටීම පුදුමයක් නොවීය.

භූ කම්පනය හේතුවෙන් මෙක්සිකෝ සිටි නගරය විනාඩි තුනක් පමණ සෙළවුණි. රෙජිස්, වර්සායි, රොමානෝ ආදී පැරණි හෝටල්, වෘත්තීය අධ්‍යාපනය සඳහා වන ජාතික විද්‍යාලයේ ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි ගණනාවක් ඉන් කඩා වැටුණි. එමෙන්ම මෙක්සිකෝ මහ රෝහලේ කොටසක් ද ඉන් විනාශ විය.

කඩා වැටුණ බොහෝ ගොඩනැගිලි තට්ටු 6 – 15 අතර ඒවා විය.

මෙම භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 10,000 කට ආසන්න වූ අතර 30,000 ක් දෙනා තුවාල ලබා තවත් බොහෝ දෙනකුට නිවාස අහිමි විය. ගොඩනැගිලි 3000 ක් පමණ මුලුමණින්ම විනාශ වී ගිය අතර තවත් ගොඩනැගිලි 100,000 කට පමණ අලාභ හානි සිදු විය.

සැප්තැම්බර් 19 භූ කම්පනයට පෙර 1985 මැයි මාසයේ මෙක්සිකෝවට බලපෑ තරමක භූ කම්පනයක් වූ අතර (මැග්නිටියුඩ් 5.2) යළිත් සැප්තැම්බර් 20 සහ 1986 අප්‍රේල් 30 වනදා ප්‍රබල පසු කම්පන දෙකක් සිදු විය.

මෙම භූ කම්පනයෙන් හරියටම වසර 32 කට පසු මෙක්සිකෝවට මැග්නිටියුඩ් 7.1 ක භූ කම්පනයක් සිදු වීම දෛවයේ සරදමක් බඳු විය. එයටද සති දෙකකට පමණ පෙර තවත් විශාල භූ කම්පනයක් මෙක්සිකෝවට බලපෑවේය.

Pic: USGS

Related posts

Leave a Reply