December 11, 2017

සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් පළමු රට​

සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් පළමු රට​

නූතන ඉතිහාසය තුළ ජාතික මට්ටමෙන් සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් පළමු රට ලෙස සැළකෙන්නේ නවසීලන්තයයි. බ්‍රිතාන්‍ය විජිතයක් වූ එහි කාන්තාවන් වෙත ඡන්ද බලය ප්‍රදානය කිරීමේ පනතක් 1893 දී එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර එම වසරේ සැප්තැම්බර් 19 වනදා එවකට එරට ආණ්ඩුකාරයා වූ ග්ලාස්ගෝ සාමි විසින් ඊට අත්සන් තබන ලදී. මේ අනුව එම පනත නීතියක් බවට පත් වූයේය.

රටක සියලු වැඩිහිටි පුද්ගලයන් සඳහා ඡන්ද බලය ප්‍රදානය කිරීමෙන් පසු පැවති පළමු මහ මැතිවරණය ලෙස සැළකෙන්නේ 1893 නොවැම්බර් 28 වනදා පවත්වන ලද නවසීලන්ත මහ මැතිවරණයයි. එහිදී එවක පාලක පක්ෂය වූ ලිබරල් පක්ෂය සිය ආසන සංඛ්‍යාව 40 සිට 51 දක්වා ඉහළ නංවා ගත්තේය.

කාන්තාවන් සඳහා ඡන්ද බලය වෙනුවෙන් සටන් වැදුණ නවසීලන්ත කාන්තාවන් අතර කේට් ෂෙපර්ඩ් ප්‍රමුඛ වූ අතර ඇය ඇතුලු කාන්තාවන් සය දෙනෙකු අනුස්මරණය කිරීමට කේට් ෂෙපර්ඩ් ස්මාරකය නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි ඉදිකර ඇත. මේ අතර නවසීලන්ත ඩොලර් 10 නෝට්ටුවේ කේට් ෂෙපර්ඩ්ගේ රුව ඇතුලත් ය.

නවසීලන්ත කාන්තාවන්ට 1893 සිටම පලාත් පාලන ආයතනවල නියෝජනය සඳහා තරඟ කළ හැකි වූ අතර වර්තමානයේ ඕක්ලන්ඩ් නගරයේ කොටසක් වන ඔනෙහුන්ගා හි නගරාධිපතිනිය ලෙස 1893 දී එලිසබෙත් යේට්ස් තෝරාගන්නා ලදී. නමුත් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා තරඟ කිරීමට එරට කාන්තාවන්ට අවසර ලැබුණේ 1919 දී ය. පළමු වරට මන්ත්‍රීවරියක පාර්ලිමේන්තුවට තෝරාගන්නා ලද්දේ 1933 දී පවත්වන ලද අතුරු මැතිවරණයකිනි. ඇය එලිසබෙත් මැක්කෝම්බ්ස් ය.

ප්‍රධාන ඡායාරූපය: කේට් ෂෙපර්ඩ් ස්මාරකය (Bernard Spragg, NZ)

Related posts

Leave a Reply