December 11, 2017

ටර්ක්ස් සහ කේකස් දූපත්

ටර්ක්ස් සහ කේකස් දූපත්

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ටර්ක්ස් සහ කේකස් දූපත් යනු අත්ලාන්තික් සාගරයේ බටහිර ඉන්දීය කොදෙව්වලට අයත් ලුකායන් දූපත්වල කොටසකි. ටර්ක්ස් සහ කේකස් යනු දූපත් කාණ්ඩ දෙකකි. ඉන් කේකස් දූපත් වඩා විශාල බිම් ප්‍රදේශයකින් යුක්ත වේ.

බහමාස් හි මයාගුයානා දූපත්වලට ගිණිකොණ දෙසින් ද, හිස්පැනියෝලා දූපත්වලට උතුරින් ද පිහිටි මෙම දූපත් සංචාරක ව්‍යාපාරය සඳහා සහ මූල්‍ය කේන්ද්‍රයක් ලෙස ද ප්‍රකටය.

මෙම දූපත්හි ජනගහනය 2012 දී 31,458 ක් විය. ඉන් බහුතරය වන 23,769 ක් ජීවත් වූයේ කේකස් දූපත්හි ප්‍රොවිඩෙන්‍ෂියාල්ස් දූපතේ ය. ටර්ස් සහ කේකස් හි අගනුවර වන කුක්බර්න් ටවුන් නගරය ග්‍රෑන්ඩ් ටර්ක් (මහා ටර්ක්) දූපතේ පිහිටියේය.

අරාවක් බස භාවිතා කළ ටයිනෝ නම් ජන කොට්ඨාශයක් ක්‍රි.ව. 500-800 අතර සමයේ හිස්පැනියෝලාවේ සිට පැමිණ මෙම දූපත් ජනාවාස කළ බව සැළකේ. ටර්ක්ස් සහ කේකස් දූපත් පිළිබඳ මුලින්ම වාර්තා කළේ ස්පාඤ්ඤ ජාතික පොන්ස් ඩි ලියොන් ය. ස්පාඤ්ඤ ජාතිකයෝ මෙහි ස්වදේශීන් වහලුන් ලෙස හිස්පැනියෝලාවට ගෙන ගියෝය.

ටර්ක්ස් සහ කේකස් (Wikimedia Commons)
ටර්ක්ස් සහ කේකස් (Wikimedia Commons)

1680 දී පමණ බර්මියුඩාවේ සිට පැමිණි ලුණු එකතු කරන්නෝ මෙහි පදිංචි වූහ. පසු කළෙක මුහුදු කොල්ලකරුවන්ගේ සැඟවුම් ප්‍රදේශයක් ලෙස ද මෙම දූපත් භාවිතා විය. 1783 දී ප්‍රංශ ජාතිකයන් මෙම දූපත් අල්ලාගත් නමුත් පසුව ඒවා බ්‍රිතාන්‍යයට පවරා දෙන ලදී. ඇමරිකානු නිදහස් සටන නිමවූ පසු එහි ජනපදවල වූ බ්‍රිතාන්‍ය පාක්ෂිකයන් සමහරෙක් ටර්ක්ස් සහ කේකස් වෙත පදිංචියට ගියහ. ඔවුන් මෙම දූපත්හි කපු වගාව ප්‍රචලිත කළ නමුත් ලුණු කර්මාන්‍තය ඊටද වඩා දියුණු විය.

කාළයෙන් කාළයට මෙම දූපත් වෙනම කොලනියක් ලෙස හෝ බහමාස්, ජැමේකාව, බර්මියුඩාව යන බ්‍රිතාන්‍ය කොලනි හරහා හෝ පාලනය කෙරිණ. 1973 දී බහමා දූපත්වලට නිදහස ප්‍රදානය කෙරුණ පසු ටර්ක්ස් සහ කේකස් දූපත් සඳහා ආණ්ඩුකාරයකු පත් කොට එය නැවතත් වෙනමම බ්‍රිතාන්‍ය ජනපදයක් බවට පත් කෙරුණි.

පරිපාලනය

ටර්ක්ස් සහ කේකස් යනු බ්‍රිතාන්‍ය විජිතයක් වන අතර එහි බ්‍රිතාන්‍ය නියෝජිතයා ලෙස ආණ් ඩුකාරවරයකු වේ. මෙයට ස්වයං පාලන බලතල ඇති අතර ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් 21 න් 15 ක් මහජන ඡන්දයෙන් තෝරා ගනු ලැබේ. අගමැතිවරයකු ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් ද එහි වේ.

ධජය (Wikimedia Commons)
ධජය (Wikimedia Commons)

භූ විෂමතා

ටර්ක්ස් සහ කේකස්හි ප්‍රධාන දූපත් 8 ක් සහ කුඩා දූපත් 300 ක් පමණ වේ. සම්පූර්ණ භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 616.3 කි. මෙම දූපත් කේකස් පැසේජ් (කේකස් සමුද්‍ර සන්ධිය) මගින් බහමාස් දූපත්වලින් වෙන් කෙරෙන අතර කේකස් සහ ටර්ක්ස් දූපත් ටර්ක්ස් පැසේජ් මගින් වෙන්වේ.

ලාංඡනය (Wikimedia Commons)
ලාංඡනය (Wikimedia Commons)

මෙහි දූපත් පහත්බිම්වලින් යුතු වේ. වගුරු සහ කඩොලාන ප්‍රදේශ බහුලය.

ජනතාව

2001 දී 19,886 ක් වූ ටර්ක්ස් සහ කේකස් ජනගහනය 2012 දී 31,458 ක් විය. මෙම ජනගහනයෙන් තුනෙන් එකක් වයස අවුරුදු 15 ට අඩු අය යි. වාර්ෂික ජනගහන වර්ධන වේගය 2.28% ක් වූ අතර උපතේදී ආයු අපේක්ෂාව කාන්තාවන්ට අවුරුදු 75.51 ක් සහ පුරුෂයින්ට අවුරුදු 71.15 ක් විය.

අප්‍රිකානු සම්භවය ඇති ජනයා සමස්ථ ජනගහනයෙන් 87% කි. යුරෝපීයයන් 7.9% ක්, මිහ්‍ර 2.5% ක්, නැගෙනහිර ඉන්දියානු 1.3% ක් සහ වෙනත් ජාතීන් 0.7% ක් ද ජනතාව අතර වෙති.

කොක්බර්න් ටවුන් හි දර්ශනයක් 2007 දී (Wikimedia Commons)
කොක්බර්න් ටවුන් හි දර්ශනයක් 2007 දී (Wikimedia Commons)

රටේ නිල භාෂාව ඉංග්‍රීසි ය. ඊට අමතරව ටර්ක්ස් සහ කේකස් ක්‍රෙයෝල් බස ද බෙහෙවින් භාවිතා වන අතර ඇතැම් ජන කොටස් අතර ස්පාඤ්ඤ බස ද භාවිතා වේ.

ජනගහනයෙන් 72.8% ක් විවිධ ක්‍රිස්තියානි නිකායවලට අයත් ය. එයින් ප්‍රධාන වන්නේ ජනගහනයෙන් 35.8% ක් අයත් වන බැප්ටිස්ට් නිකාය යි.

සංගීතය

ටර්ක්ස් සහ කේකස් දූපත් රිප්සෝ සංගීතයේ (ripsaw music) උපන් බිම ලෙස සළකනු ලබයි.

ආර්ථිකය

ටර්ක්ස් සහ කේකස් දූපත්වල දළ දේශීය නිශ්පාදිතයෙන් තුනෙන් එකක් පමණ සංචාරක කර්මාන්තයෙන් උත්පාදනය වේ. තවත් සියයට 13 ක් පමණ මූල්‍ය සේවාවලින් ද ලැබේ.

බ්‍රිතාන්‍ය විජිතයක් වුවද මෙහි මුදල් ඒකකය ලෙස භාවිතා වන්නේ ඇමරිකන් ඩොලර් ය.

ප්‍රධාන ඡායාරූපය: ටර්ක්ස් සහ කේකස්හි ග්‍රේස් වෙරළ (turks-and-caicos.org)

Related posts

Leave a Reply