December 11, 2017

ලෝක ඉතිහාසයේ කෙටිම යුද්ධය

ලෝක ඉතිහාසයේ කෙටිම යුද්ධය

ලෝක ඉතිහාසයේ වාර්තා වී ඇති කෙටිම යුද්ධය සිදු වූයේ 1896 අගෝස්තු 27 වනදා වර්තමානයේ ටැන්සානියාවට අයත් සැන්සිබාරයේ ය. ඒ ඉංග්‍රීසි සැන්සිබාර් යුද්ධයයි. නැගෙනහිර අප්‍රිකාවේ වේලාවෙන් උදෑසන 9.02 ට ඇරඹි යුද්ධය උදෑසන 9.40 ට අවසන් වී යයි සැළකේ. එනම් මෙම යුද්ධය පැවති සම්පූර්ණ කාළය විනාඩි 38 කි.

(ඇතැම් මූලාශ්‍රවල මෙම විනාඩි ගණන සුලු වෙනස්කම් සහිතව දැක්වෙන නමුත් එසේ දැක්වෙන උපරිම කාළය විනාඩි 45 කි)

මෙම යුද්ධයට හේතු වූයේ බ්‍රිතාන්‍යයට හිතවාදී නොවූ කාලිඩ් බින් බර්ඝාෂ් සැන්සිබාරයේ සුල්තාන් බවට පත් වීමය. 1896 අගෝස්තු 25 වනදා බ්‍රිතාන්‍යයට හිතවත් සුල්තාන්වරයකු වූ හමාඩ් බින් තුවායිනි මරණයට පත් විය. 1886 අත්සන් කරන ලද ගිවිසුමකට අනුව සැන්සිබාරයට නව සුල්තාන්වරයකු පත්වීමේදී බ්‍රිතාන්‍ය කොන්සල්වරයාගේ අනුමැතිය හිමි විය යුතු විය. කාලිඩ් බින් බර්ඝාෂ් එම කොන්දේසිය සම්පූර්ණ නොකළේය. බ්‍රිතාන්‍යයට අවශ්‍ය වූයේ හමුඩ් බින් මුහම්මද් සුල්තාන් පදවියට පත්වනු දැකීමටය.

මේ අවස්ථාවේ බ්‍රිතාන්‍යය සේනාංක කාලිඩ්ට සුල්තාන් මාලිගයෙන් පිට වීමට අගෝස්තු 27 උදෑසන 9 වනතුරු කල් දුන්නෝය. නමුත් ඔහු කළේ තම භටයින් ද කැඳවා මාලිගයේ රැකවල් තර කිරීමයි. ඔවුන් සතුව කාලතුවක්කු සහ මැෂින් තුවක්කු කිහිපය බැගින් විය.

කෲසර් වර්ගයේ නැව් දෙකක් සහ ගන් බෝට් තුනකින් යුත් 150 දෙනකුගෙන් යුත් බ්‍රිතාන්‍ය සේනාංකය රියර් අද්මිරාල් හැරී රෝසන් යටතේ සටනට සූදානම් වූ අතර ඔවුනට බ්‍රිගේඩියර් ජෙනරාල් ලොයිඩ් මැතිව්ස් යටතේ වූ 900 ක සැන්සිබාර් සේනාංකයක් ද විය. සැන්සිබාර් සුල්තාන්වරයා සතුව HMS ග්ලාස්ගෝ නම් රාජකීය යොට් යාත්‍රාව විය.

උදෑසන 9.02 ට සටන් ඇරඹුණ අතර රජ මාලිගයට නාවික ප්‍රහාර එල්ල කරන ලදී. මේ අතර HMS ග්ලාස්ගෝ යාත්‍රාව ද ගිල්වා දැමිණ. පැය භාගයකදී සුල්තාන්වරයා මාලිගයෙන් පළා ගොස් ජර්මන් කොන්සල් කාර්යාලයේ රැකවරණය ලැබීය. ඔහු පසුව විය.

බ්‍රිතාන්‍යයන් විසින් හමුඩ් බින් මුහම්මද් සුල්තාන් ධූරයට පත් කරන ලද අතර සැන්සිබාරයේ ස්වෛරී පාලනය නිම කොට බ්‍රිතාන්‍යය යටතේ පවතින රූකඩ පාලනයක් එහි ඇති කරන ලදී.

ඡායාරූපය: සුල්තාන් මාලිගය යුද්ධයෙන් පසු

Related posts

Leave a Reply