December 11, 2017

රොන්ඩා

රොන්ඩා

ස්පාඤ්ඤයේ අන්දලුසියා ස්වතන්ත්‍ර ප්‍රදේශයේ මලාගා පළාතේ පිහිටි රොන්ඩා නගරය 35,000 ක පමණ ජනගහනයකින් යුත් කුඩා නගරයකි. මලාගා සිට කිලෝමීටර 100 ක් පමණ බටහිරින් මෙම නගරය පිහිටා තිබේ.

රොන්ඩා නගරය පිහිටි ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ බවට සාක්ෂි සහිත ප්‍රදේශයකි. ප්‍රාග් ඓතිහාසික සිතුවම් සහිත කුඒවා දෙ ලා පිලේතා ගල් ලෙන මේ අසළ පිහිටියේය. කෙසේ වෙතත් රොන්ඩා නගරයේ ජනාවාස පිහිටවූ පළමු ජනතාව වූයේ කෙල්ට්වරුන් ය. ඒ ක්‍රි.පූ. 6 වන සියවසේදී ය. එකළ මෙය අරුන්ඩා ලෙස හඳුන්වන ලදී. පසුව ෆිනීෂියානුවන් ද මෙම පෙදෙසේ විසූ අතර වත්මන් නගරයේ ඉතිහාසය රෝමන් යුගය කරා දිවෙයි. දෙවන පියුනික් යුධ සමයේ සිපියෝ ඇෆ්‍රිකානුස් විසින් මෙය ආරක් ෂිත බලකොටු නගරයක් සේ ඉදි කළේයයි විශ්වාස කරනු ලබයි.

රෝමන් අධිරාජ්‍යය බිඳ වැටෙමින් තිබුණ ක්‍රි.ව. පස්වන සියවසදී සුඒබිවරුන් විසින් මෙම ප්‍රදේශය අල්ලාගන්නා ලදී. පසුව නැගෙනහිර රෝම අධිරාජ්‍යයට ද අයත් ව තිබූ මෙම ප්‍රදේශය 6 වන සියවසදී ලියුවිගිල්ඩ් නම් වූ විසිගොත් රජු විසින් අල්ලාගනු ලැබුණි. 713 දී උතුරු අප්‍රිකාවෙන් පැමිනි බර්බර්වරුන් විසින් අල්ලාගන්නා තුරු එය විසිගොත්වරුන් යටතේ පැවතිණ. 713 දී ඇරඹි මුස්ලිම් පාලනය 1485 තෙක් ම පැවැතුණේය. එම වසරේදී කාර්ඩිස් හි මාර්කීස්වරයා විසින් නගරය අල්ලාගන්නා ලදී. ඉන්පසු බොහෝ ඉස්ලාමීය ගෘහනිර්මාණ ශිල්පය අනුව සැකසුණ ගොඩනැගිලි වෙනස් වීම්වලට ලක් විය.

රොන්ඩා ප්‍රදේශය 1808 දී නැපෝලියන් විසින් කළ ආක්‍රමණයෙන් පසු ප්‍රංශයට එරෙහිව පැණ නැංගා වූ කැරැල්ල දරුණු ලෙස බලපෑ ප්‍රදේශයක් විය. මේ අවට කඳුකරය කැරලිකරුවන්ට කදිම සැඟවුම් ස්ථානයක් විය. පසු කාළයක මෙම කඳුකරය මං පහරන්නන්ට ද සැඟවුම් ස්ථානයක් විය.

1918 දී අන්දලුසියා ධජය, සංකේතය සහ ගීය නිර්මාණය කළේ රොන්ඩා හි පවත්වන ලද සමුලුවකදී ය.

1930 දශකයේ ස්පාඤ්ඤ සිවිල් යුධ සමයද රොන්ඩා නගරයට දැඩි බලපෑමක් කළේය. මෙම නගරයේ පුඑන්ටේ නුඒවෝ (නව පාලම) හි සිට පහළ හෙල වෙත විරුද්ධවාදීන් තල්ලු කර දමන ලද බව සඳහන් ය. අර්නස්ට් හෙමිංවේගේ කෘතියෙහි මෙවන් එක් සිද්ධියක් පිළිබඳ සඳහන් ය. එය රොන්ඩා නගරයේ සිදුවූ සිදුවීම් ඇසුරින් ගොඩ නැගූ සිද්ධියකැයි විශ්වාස කෙරේ.

ඡායාරූපය: එල් තජෝ හෙල සහ පුඑන්ටා නුඒවෝ පාලම, රොන්ඩා (Pedro J Pacheco)

Related posts

Leave a Reply