December 11, 2017

නට්සින්ගෙන් පැරිසිය නිදහස් කරගැනීම​

නට්සින්ගෙන් පැරිසිය නිදහස් කරගැනීම​

දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය විසින් අල්ලා ගන්නා ලද ප්‍රංශයේ පැරිස් නගරය 1944 අගෝස්තු 25 වන දින නිදහස් කරගන්නා ලදී. මෙසේ නගරය නිදහස් කරගනු ලැබුණේ 1944 ජූනි 6 වනදා මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝර්මැන්ඩි වෙරළට ගොඩ බැස ජර්මනිය විසින් පාලනය කළ ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ පසුබිමේ ය.

මිත්‍ර හමුදාවල සැලැස්මෙහි පැරිසියට හමුදා යැවීමේ අදහසක් නොවීය. ඔවුනගේ මූලික සැලැස්ම වූයේ නෝර්මන්ඩිය අල්ලාගෙන එයින් රයින් නදිය දෙසට හමුදා මෙහෙයවා ජර්මනියට පහර දීමය. එවිට පැරිසිය වැනි ප්‍රදේශ වැඩි සටනකින් තොරවම යටත් වනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

කෙසේ වෙතත් චාර්ල්ස් ඩි ගෝල්ගේ නායකත්වයෙන් යුත් නිදහස් ප්‍රංශ (Free French) සේනාංකවල සහ ප්‍රංශ සටන්කාමීන්ගේ (ඔවුන් මේ වනවිට හඳුන්වනු ලැබුයේ අභ්‍යන්තරයේ ප්‍රංශ සේනා (FFI) ලෙසය) අදහස වූයේ ඉක්මණින් පැරිසිය නිදහස් කරගැනීමය. එහි දේශපාලන වැදගත්කම කෙරෙහි ඔවුහු විශේෂ අවධානයක් යොමු කළෝය.

මේ අතර ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් පැරිසියේ වැදගත් ස්මාරක ආදිය විනාශ කිරීමට අණ දී තිබිණ.

1944 අගෝස්තු 15 වනදා පැරිසියේ වැඩ වර්ජනයක් පටන් ගැණින. මෙය පසුව මහා වැඩ වර්ජනයක් ලෙස වර්ධනය විය. මේ අතර ජර්මන් හමුදා නගරයේ ඇතැම් ස්ථාන පුපුරවා හැරීමට සූදානම් වූහ.

අගෝස්තු 19 වනදා නගරයේ ප්‍රංශ නිදහස් සටන්කාමීන් කැරැල්ලක් ඇරඹූහ. මෙම කැරැල්ල පරාජය කිරීමට ප්‍රමාණවත් සේනාංක ජර්මානුන්ට නොවීය. විශේෂයෙන්ම මිත්‍ර හමුදා වේගයෙන් ඉදිරියට එන පසුබිමක ජර්මානුන් සිටි තත්ත්වය තවත් අවාසි සහගත විය.

අගෝස්තු 20 වනවිට වීථිවල බාධක ඉදි වන්නට වූයේය. අගෝස්තු 22 වනදා සටන් උග්‍ර අතට හැරුණ අතර ජර්මානු භටයෝ FFI සංවිධානයේ පාලනයේ වූ ග්‍රෝන් පැලේ (Grand Palais) වෙත පහර දුන්නෝය.

මිත්‍ර හමුදා මෙම අවස්ථාවේ නගරයට නොපැමිණියේ නම් කැරැල්ල මැඩ පැවැත්වීමේ ඉඩක් වූ අතර ඇතැම් විට නගරය විනාශ වීමේ ඉඩක් ද විය. නමුත් මේ අවස්ථාවේ ඩි ගෝල්ගේ සේනාංක මිත්‍ර හමුදා සැලැස්මට පිටින් ක්‍රියා කළහ.

මිත්‍ර හමුදා පැමිණේ

නිදහස් ප්‍රංශ සේනාංකවල දෙවන සන්නාහ සන්නද්ධ සේනාංකය මෙහෙයවූයේ ජෙනරාල් ලෙක්රෙක් ය. මිත්‍ර හමුදාවල අණ නොතකා පැරිසිය වෙත හමුදා මෙහෙයවීමට නිදහස් ප්‍රංශ හමුදා නායකත්වය තීරණය කර තිබුණි. මේ අනුව අගෝස්තු 24 වනදා රාත්‍රියේ කපිතාන් රේමන්ඩ් ඩ්‍රෝන් යටතේ වූ 9 වන බල ඇණිය නගරයට ඇතුලු විය. ඩ්‍රෝන් පැරිසියේ සිටි ජර්මන් අණ දෙන නිලධාරී ජෙනරාල් ඩීට්‍රිෂ්ට් ෆොන් චොල්ටිට්ස් හමුවී ප්‍රංශ හමුදාවලට යටත් වන ලෙස කියා සිටියේය.

ඊළඟ දිනයේ චොල්ටිට්ස් ප්‍රංශ ජෙනරාල් ලෙක්රෙක් හමුවේ යටත් වූයේය. ඉන්පසු දිනයේ පැරිසියේ විජයග්‍රාහී හමුදා ආචාර පෙළපාලියක් පවත්වන ලදී.

About The Author

Related posts

Leave a Reply