December 11, 2017

බැස්ටීල් දිනය​ (ප්‍රංශ ජාතික දිනය)

බැස්ටීල් දිනය​ (ප්‍රංශ ජාතික දිනය)

1789 ජූලි 14 වනදා ප්‍රංශයේ පැරිස් නුවර බැස්ටීල් බලකොටුවට පහරදීම බැස්ටීල් දිනය ලෙස සමරනු ලබයි. මෙය ප්‍රංශයේ ජාතික දිනය වන අතර ප්‍රංශ විප්ලවයේ වඩාත් ම ප්‍රකට සිද්ධිය වන්නේ ද මෙයයි.

ප්‍රංශ විප්ලවය ආරම්භ වූ දිනය හෝ අවසන් වූ දිනය පිළිබඳ නිශ්චිත මතයක් නැත. සාමාන්‍යයෙන් එය 1789 දී ඇරඹියේ යයි පිළිගන්නා නමුත් එයට නිශ්චිත දිනයක් නම් කිරීමේදී විවිධ ආකාරයේ අදහස් මතුවේ. ඇතැම් විචාරකයන් බැස්ටීල් දිනය ඒ සඳහා යෝජනා කරන අතර තවකෙකුගේ අදහස වන්නේ ටෙනිස් පිටියේ ප්‍රතිඥාව ප්‍රකාශ කළ දිනය ඒ සඳහා වඩා සුදුසු බවයි.

කෙසේ නමුත් ප්‍රංශ විප්ලවයේ වැදගත් ම දිනය ලෙස බැස්ටීල් දිනය ගත හැක්කේ බැස්ටීලයට පහර දීම සංකේතාත්මකව වැදගත් වූ හෙයිනි. බැස්ටීලය පැරණි බූර්බෝන් රාජවංශය යටතේ දේශපාලන සිරකරුවන් රඳවන ලද බලකොටුවකි. ප්‍රජා පීඩනයේ සංකේතයකි. බැස්ටීලයට පහර දීමත් සමඟ රාජාණ්ඩුව බිඳ වැටුණේ හෝ විප්ලවීය රජයක් එක රැයින් නිර්මාණය වූයේ හෝ නැත. එමෙන්ම ප්‍රහාරය එල්ලවන සමය වනවිට එහි වූයේ සිරකරුවන් හත් දෙනකු පමණි. අනෙක් අතට, බැස්ටීලයට පහර දීම දිගු ක්‍රියාවලියක කූඨප්‍රාප්තියක් විය.

බැස්ටීලයට පහර දීම වඩා වැදගත් වන්නේ එහි සංකේතාත්මක වටිනාකම නිසා ය. විප්ලවය පටන් ගත් බව එය හොඳම සාධකය විය.

ප්‍රංශය සිය ජාතික දිනය ලෙස බැස්ටීල් දිනය සමරයි. ප්‍රංශයේ විවිධ ස්ථානවල මේ සඳහා උත්සව පැවැත්වේ. පැරිසියේ බැස්ටීල් දින හමුදා පෙළපාලියක් පවත්වන අතර එය යුරෝපයේ පැරණිම හමුදා පෙළපාලිය සේ සළකනු ලබයි. රාත්‍රියේ අයිෆල් කුලුණෙහි සිට ගිණිකෙළි සන් දර්ශණයක් පවත්වයි.

ප්‍රංශයේ නගරවල පමණක් නොව ප්‍රංශ ජාතිකයන් වසන ලෝකයේ වෙනත් ප්‍රදේශවල ද (විශේෂයෙන් ම කැනඩාවේ) බැස්ටීල් දිනය උත්සවාකාරයෙන් සමරනු ලැබේ.

මෑත කාලීනව ප්‍රංශයේ ජාතික දින සැමරුම් අතරතුර දැඩි ආරක් ෂාවක් යෙදවීමට බලධාරීහු කටයුතු කරති. 2016 දී නීස් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඒ සඳහා ආසන්නම හේතුවකි. එහිදී ත්‍රස්තවාදියකු විසින් නීස් නගරයේ බැස්ටීල් දිනය සමරමින් සිටි ජනකායෙන් පිරුණ වීථියක් ඔස්සේ ට්‍රක් රථයක් පදවමින් මහත් විනාශයක් කළේය. ඔහු ඇතුලු 87 දෙනකු එම ප්‍රහාරයෙන් මිය ගිය බව වාර්තා විය.

ප්‍රධාන ඡායාරූපය: බැස්ටීලයට පහර දීම. ශෝන්-පියෙර්-ලුවී-ලෝරන්ට් හූල් විසින් ඇඳි චිත්‍රයක්

Related posts

Leave a Reply