December 11, 2017

ප්‍රංශ පාපැදි සවාරිය – 2017

ප්‍රංශ පාපැදි සවාරිය – 2017

ලොව පුරා පැවැත්වෙන පාපැදි සවාරි අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා පාපැදි සවාරිය ලෙස ප්‍රංශ පාපැදි සවාරිය හැඳින්වූවාට වරදක් නැත. ලොව සතර දෙසින් පැමිණෙන ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රංශ පාපැදි සවාරියට ක්‍රීඩා ලෝලීන්ගේ නොමඳ ප්‍රතිචාරය හිමිවන බව අප සැවොම දන්නා කරුණකි. කණ්ඩායම් 22ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ප්‍රංශ පාපැදි සවාරිය ජූලි මස 1 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර පැවැත්වෙන්නේ 104 වැනි ප්‍රංශ පාපැදි සවාරියයි.

මෙවර ප්‍රංශ පාපැදි සවාරියේ මුළු දුර කිලෝමීටර් 3540 කි. එම දුර අදියර 21ක් යටතේ පැවැත්වෙන අතර එම අදියර 21 ට,

තැනිතලා මාර්ග වල පැවැත්වෙන අදියර 9 ක්
තරමක් කඳු සහිත මාර්ගවල පැවැත්වෙන අදියර 5 ක්
කඳුකර බිම් වලින් අවසාන වන, බොහෝ කඳු සහිත මාර්ගවල පැවැත්වෙන අදියර 5ක් සහ
කාලය ගණනය කිරීමේ අදියර 2ක්

ඇතුලත් වේ.

මෙවර ප්‍රංශ පාපැදි සවාරිය ප්‍රංශයට අමතරව සිය අසල්වැසි රටවල් වන ජර්මනිය, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් වල මාර්ග කිහිපයකුත් සම්බන්ධ කරගෙන පැවැත්වීමට නියමිතය.

ප්‍රධානය කරන ජර්සි

මෙවර ප්‍රංශ පාපැදි සවාරියේදී ජර්සි 4ක් පිරිනැමීමට නියමිතය. කහ ජර්සිය, කොළ ජර්සිය, රතු තිත් සහිත ජර්සිය සහ සුදු ජර්සිය එම ජර්සි 4 වේ. ඊට අමතරව ජයග්‍රාහී කණ්ඩායම සහ වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩකයාද තෝරාගැනීමට නියමිතය.

කහ ජර්සිය පිරිනමන්නේ ප්‍රංශ පාපැදි සවාරියේ ජයග්‍රාහකයාට ය. පසුගියවර කහ ජර්සියෙන් පිදුම් ලැබුවේ ස්කයි කණ්ඩායම නියෝජනය කරන මහා බ්‍රිතාන්‍යයේ ක්‍රිස් ෆ්රූම් ය. කොළ ජර්සිය පිරිනමන්නේ වැඩිම ලකුණු හිමිකරගන්නා ක්‍රීඩකයාටය. එම ලකුණු පිරිනමන්නේ එක් එක් ඉසව්වේ ස්ප්‍රින්ට් වලදී වැඩිම දක්ෂතා දක්වන ක්‍රීඩකයාට ය. පසුගිය වර්ෂයේදී කොළ පැහැති ජර්සිය හිමිකරගත්තේ ටින්කෝෆ් කණ්ඩායම නියෝජනය කරන ස්ලෝවැකියාවේ පීටර් සගාන් ය.

රතු තිත් සහිත ජර්සිය පිරිනමන්නේ හොඳම කඳු නැගීමේ ශූරයාටය. ගියවර හොඳම කඳු නැගීමේ ශූරයා ලෙසින් අභිෂේක ලැබුවේ ටින්කෝෆ් කණ්ඩායම නියෝජනය කරන පෝලන්තයේ රෆායෙල් මයිකා ය. සුදු පැහැති ජර්සිය පිරිනමන්නේ හොඳම තරුණ ක්‍රීඩකයාට වන අතර ඔරිකා කණ්ඩායම නියෝජනය කරන ඇඩම් යේට්ස් ගියවර සුදු ජර්සිය පැලඳීමට සමත්විය. ගියවර ජයග්‍රාහී කණ්ඩායම බවට පත්වුනේ මූවිස්ටාර් කණ්ඩායමයි. එහි දෙවැනි ස්ථානය ස්කයි කණ්ඩායම හිමිකරගත් අතර BMC කණ්ඩායම තෙවැනි තැන හිමිකරගන්නා ලදී. වඩාත් ආක්‍රමශීලී ධාවකයාට ලෙසින් ගියවර අභිෂේක ලැබුවේ පීටර් සගාන් ය.

මෙවර ප්‍රංශ සවාරිය ජයග්‍රහණය කිරීමට ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයින්

මෙවර පැවැත්වෙන 104 වැනි ප්‍රංශ පාපැදි සවාරිය ඉතා විශේෂ ප්‍රංශ සවාරියක් වනු නොඅනුමානය. එයට හේතුව වන්නේ මෙවර තරඟකරුවන් කිහිප දෙනෙකු අතරේ කරට කර තරඟයක් අපේක්ෂා කළහැකි හෙයිනි. එසේනම් මෙවර ප්‍රංශ පාපැදි සවාරිය ජයගනු ඇතැයි අපේක්ෂා කළහැකි ක්‍රීඩකයින් 8 දෙනෙකු පිලිබඳ අවධානය යොමු කරමු. මෙම ක්‍රීඩකයින් 8 දෙනාගෙන් කෙනෙකු මෙවර ප්‍රංශ පාපැදි සවාරිය ජයගැනීමට ඇති හැකියාව 99% කි.

  • ක්‍රිස් ෆ්රූම්

මහා බ්‍රිතාන්‍යයේ ක්‍රිස් ෆ්රූම් 2013, 2015 සහ 2016 යන වසරවල ප්‍රංශ පාපැදි සවාරි ජයගැනීමට සමත්විය. 32 හැවිරිදි ෆ්රූම් ස්කයි කණ්ඩායම නියෝජනය කරන අතර මෙවරද ප්‍රංශ පාපැදි සවාරිය ජයගැනීමට ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා ලෙස නම් කලහැක.

  • නයිරෝ ක්වීන්ටානා

ක්‍රිස් ෆ්රූම්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ක්වීන්ටානා මූවිස්ටාර් කණ්ඩායම නියෝජනය කරයි. 27 හැවිරිදි මෙම කොලොම්බියානු ක්‍රීඩකයා 2013, 2015 ප්‍රංශ පාපැදි සවාරිවල ක්‍රිස් ෆ්රූම් ට පමණක් දෙවැනි වූ අතර ගියවර 3 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. කෙසේ නමුත් පසුගිය වසරේ ස්පාඤ්ඤ පාපැදි සවාරියේදී ෆ්රූම්ව පරාජය කිරීමට ක්වීන්ටානාට හැකි වූ අතර නිමා වූ ඉතාලි පාපැදි සවාරියේදී දෙවැනි ස්ථානය ලබාගැනීමටද ක්වීන්ටානාට හැකිවිය. එසේනම් මෙවරද ෆ්රූම් සහ ක්වීන්ටානා අතර හොඳ සටනක් බලාගැනීමට හැකිවනු ඇත.

  • ඇල්බර්ටෝ කොන්ටඩෝර්

පාපැදි ලොවේ සිටින ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස ඇල්බර්ටෝ කොන්ටඩෝර් ව නම් කල හැක. 2007 සහ 2009 වසරවල ප්‍රංශ පාපැදි සවාරිය ජයගත් කොන්ටඩෝර් ස්පාඤ්ඤ ජාතික ක්‍රීඩකයෙකි. 34 හැවිරිදි කොන්ටඩෝර්ට ප්‍රංශ පාපැදි සවාරියක් ජයගැනීමට ඇති අවසාන අවස්තාව මෙය වීමට බොහෝදුරට ඉඩ ඇත. දවසින් දවස ඔහුගේ දස්කම් වල අඩුවක් දක්නට ලැබෙන අතර ඒ සමඟ තරුණ ක්‍රීඩකයින් සමඟ උරෙනුර ගැටීමට ඇති හැකියාව අඩු බවක් දක්නට ලැබේ. එසේනම් කොන්ටඩෝර් ද මෙවර ප්‍රංශ පාපැදි සවාරිය ජයගැනීමට ඉදිරියෙන්ම සිටින තරඟකරුවන්ගෙන් කෙනෙක් ලෙස හැඳින්විය හැක.

  • රිචී පෝර්ට්

මෙවර ප්‍රංශ සවාරියේදී පාපැදි ලොවට පායනු ඇති බවට විශ්වාස කළහැකි තරුව වනුයේ ඕස්ට්‍රේලියාවේ රිචී පෝර්ට් ය. BMC රේසින් කණ්ඩායම නියෝජනය කරන පෝර්ට් මේ වනවිට 32 වියේ පසුවෙයි. තැනිතලා බිම්වල, කඳු මාර්ග වල මෙන්ම කාලය ගණනය කිරීමේ ඉසව් වලින්ද එක සේ දස්කම් පෑමට හැකි නිසා එය පෝර්ට් ට විශාල අමතර වාසියක් වනු ඇත. මේ වනවිට කිසිඳු ප්‍රධාන සවාරියක (Grand Tour) මුල් ස්ථාන ත්‍රිත්වය අතරටවත් පැමිණීමට සමත්ව නැති වුවත් පසුගිය කාලයේදී වර්ධනය කරගත් දක්ෂතා අනුව නිසැක වශයෙන්ම මෙවර ප්‍රංශ සවාරිය ජයගැනීමට ඉදිරියෙන්ම ඇති ක්‍රීඩකයෙකු ලෙස පෝර්ට් ව නම් කලහැක.

  • ෆැබියෝ අරූ

අස්ටානා කණ්ඩායම නියෝජනය කරන 26 හැවිරිදි අරූ ඉතාමත් පරිපූර්ණ මට්ටමේ තරඟකරුවෙකු ලෙසින් හැඳින්විය හැක. ගියවර ප්‍රංශ පාපැදි සවාරියේ 13 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවුවත් මෙවර නම් එයට වඩා හොඳ ප්‍රතිපලයක් ලබාගැනීමට මෙම ඉතාලි ජාතික ක්‍රීඩකයාට හැකිවනු ඇත.

  • රොමේන් බාර්ඩේ

මෙවර ප්‍රංශ සවාරිය ජයගත හැකි යයි අනුමාන කළහැකි ක්‍රීඩකයින් අතර සිටින එකම ප්‍රංශ ජාතිකයා වනුයේ බාර්ඩේ ය. තවමත් 26 වැනි වියේ පසුවන බාර්ඩේ ගියවර ප්‍රංශ සවාරියේදී ක්‍රිස් ෆ්රූම් ට පමණක් දෙවැනි වෙමින් එහි දෙවැනි ස්ථානය ලබාගැනීමට හැකිවිය. කඳු සහිත මාර්ග වලදී ඉතාමත් හොඳි පීඩනය දරාගත හැකි ක්‍රීඩකයෙකු ලෙසින් නම් කළහැකි බාර්ඩේ වසරෙන් වසර සිය දක්ෂතා ප්‍රගුණ කල ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැක.

* ඇලෙහැන්ද්‍රෝ වැල්වර්ඩේ

මේ වනවිට තමන් සහභාගී වී ඇති සියලුම ප්‍රධාන සවාරිවල පාහේ ඉතා හොඳින් දක්ෂතා දැක්වීමට වැල්වර්ඩේ ට හැකිවී ඇත. 2009 ස්පාඤ්ඤ පාපැදි සවාරිය ජයගත් වැල්වර්ඩේ ගියවර ප්‍රංශ සවාරියේදී 6 වැනි ස්ථානය ලබාගත්තේය. මූවිස්ටාර් කණ්ඩායම නියෝජනය කරන 37 හැවිරිදි වැල්වර්ඩේ ටද ප්‍රංශ සවාරිය ජයගැනීමට ඇති අවසන් අවස්තාව බොහෝදුරට මෙය බව සිතිය හැක.

  • ජේකොබ් ෆුල්සෑන්

ඩෙන්මාර්කයේ ජේකොබ් ෆුල්සෑන් මේ වනතෙක් ප්‍රධාන සවාරිවල සැලකිව යුතු දක්ෂතා දැක්වීමට සමත්ව නොමැති වී ඇති නමුත් මෙවර ප්‍රංශ සවාරියේදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වනු ඇති බවට අපේක්ෂා කලහැක. නිමාවූ ඩවුෆින් සවාරියේදී ක්‍රිස් ෆ්රූම්, ඇල්බර්ටෝ කොන්ටඩෝර්, ඇලෙහැන්ද්‍රෝ වැල්වර්ඩේ වැනි විශිෂ්ට තරඟකරුවන් පසුපසට ඇද දමමින් එහි ප්‍රථම ස්ථානය දිනාගත් 32 හැවිරිදි ෆුල්සෑන් මෙවර නියෝජනය කරන්නේ අස්ටානා කණ්ඩායමයි. ෆුල්සෑන් සහ ෆැබියෝ අරූ එක්ව අස්ටානා කණ්ඩායම වෙනුවෙන් හොඳ දක්ෂතා දක්වනු ඇති බවට අනුමාන කලහැක.

එසේනම් මෙම ධාවකයින් 8 දෙනා මෙවර ප්‍රංශ පාපැදි සවාරිය ජයගැනීමට ඉදිරියෙන්ම ඇති ක්‍රීඩකයින් බවට බලාපොරොත්තු විය හැක. මෙම 8 දෙනාට අමතරව එස්ටෙබෑන් චාවේස්, රෆාල් මයිකා, ගැරන්ට් තෝමස්, සයිමන් යේට්ස්, ඩැනියෙල් මාර්ටින් වැනි ක්‍රීඩකයින් ද මෙවර ප්‍රංශ සවාරියේදී දස්කම් දක්වනු ඇත.

තැන්නේ සටන

හොඳම කාලය වාර්තා කරන ධාවකයා ප්‍රංශ සවාරියේ ජයග්‍රාහකයා ලෙසින් කහපැහැති ජර්සියෙන් පිදුම් ලබන අතර වැඩිම ලකුණු ලබාගන්නා ධාවකයා කොළ ජර්සියෙන් පිදුම් ලබයි. තැනිතලා බිම්වල ඉතා විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩකයින් කොළපැහැති ජර්සිය ජයග්‍රහණය කරනු ඇත. ඉතා වේගවත් ධාවකයින්ට මෙම කොළපැහැති ජර්සිය ලබාගත හැක.

2012 වසරේ සිට පසුගිය වසර තෙක්ම ප්‍රංශ සවාරියේ කොළ ජර්සියෙන් පිදුම් ලබා ඇත්තේ ස්ලෝවැකියාවේ පීටර් සගාන් ය. තවමත්ස 26 හැවිරිදි වියේ පසුවන සගාන් මෙවරද කොළ ජර්සිය දිනාගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. සගාන්ගේ හොඳම ප්‍රතිවාදියා වන්නේ මහා බ්‍රිතාන්‍යයේ මාක් කැවෙන්ඩිෂ් ය. මේ වන විට ප්‍රංශ පාපැදි සවාරියේ තනි අදියර 30ක් ජයගැනීමට සමත්ව ඇති කැවෙන්ඩිෂ් 2011 වසරේදී කොළ ජර්සියෙන් පිදුම් ලැබුවේය.

ජර්මනියේ තරඟකරුවන් දෙදෙනෙකු වන මාර්සෙල් කිට්ල් සහ අන්ද්‍රේ ග්‍රීපල් යන දෙදෙනාද මෙවර කොළ ජර්සිය ලබාගැනීමට ඉදිරියෙන්ම සිටින තරඟකරුවන් දෙදෙනෙක් ලෙසින් නම් කලහැක. ඊට අමතරව ආර්නෝඩ් ඩිමාරේ සහ මයිකල් මැතිව්ස් ද ඉතා වේගවත් ධාවකයින් දෙදෙනෙකු සේ සැලකිය හැකි අතර ඔවුන් දෙදෙනාද කොළ පැහැති ජර්සිය වෙනුවෙන් තමන්ගේ උපරිමය ලබාදෙනු ඇත.

කෙසේනමුත් මීට සති කිහිපයකට පෙර නිමාවූ ඉතාලි සවාරියේදී සුපිරි තරූ දෙකක් බවට පත්වූ කොලොම්බියාවේ ෆර්නැන්ඩෝ ගැවීරියා සහ ඕස්ට්‍රේලියාවේ කැලෙබ් එවන් මෙවර ප්‍රංශ සවාරියට එක් නොවීම ක්‍රීඩා ලෝලීන්ගේ කනගාටුවට හේතුවක් වනු ඇත. ඉතාලි සවාරියේදී තමන්ගේ ප්‍රථම ප්‍රධාන සවාරියට සහභාගී වූ ෆර්නැන්ඩෝ ගැවීරියා එහිදී අදියර 4ක්ම ජයග්‍රහණය කරමින් වැඩිම ලකුණු හිමිකරගත් ධාවකයා බවට පත්විය. ඒ අනුව මෙවර පීටර් සගාන් සහ ෆර්නැන්ඩෝ ගැවීරියා අතර දැකගැනීමට තිබූ උණුසුම් ද්වන්ධ සටන දැකබලා ගැනීමට අපහට නොහැකි වනු ඇත.

විකාශනය

මෙවර ජූලි 1 වැනිදා සිට යුරෝ ස්පෝර්ට් නාලිකාව තුලින් ප්‍රංශ පාපැදි සවාරිය නැරඹිය හැක. ඊට අමතරව අන්තර්ජාලයෙන්ද නැරඹිය හැක. සාමාන්‍යයෙන් තරඟ ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.30, 4.00, 4.30, 4.45 වැනි වේලාවන් වලදී වන අතර යුරෝ ස්පෝර්ට් නාලිකාවේ විකාශනය සවස 4.30, 5.30 වැනි වේලාවන් වලදී ආරම්භ වේ. ඊට අමතරව සවස 6.45, 7 සිට ටෙන් 1 හෝ ටෙන් 2 නාලිකා දෙකෙන් එක නාලිකාවකත් විකාශනය ලබා දෙනු ඇත. ( මෙය නම් 100%ක් විශ්වාස නැත. ගියවර විකාශය කළා.) සාමාන්‍යයෙන් තරඟ නිමාවන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.15-8.45 දක්වා කාලය තුලදී ය. මෙවර ප්‍රංශ පාපැදි සවාරිය ආරම්භ කරමින් ජූලි 1 වැනිදා පැවැත්වෙන්නේ කාලය මැනීමේ අදියරකි.

චමත් දිල්ෂික

Related posts

Leave a Reply