December 11, 2017

පළමු ඔටෝමන් තුර්කි පාලකයා – I වන​ ඔස්මාන්

පළමු ඔටෝමන් තුර්කි පාලකයා – I වන​ ඔස්මාන්

I වන ඔස්මාන් හෙවත් ඔත්මාන් පළමුවන ඔටෝමන් තුර්කි පාලකයා ලෙස සැළකේ. 1258 දී පමණ උපත ලැබූ බව කියන ඔස්මාන් 1324 හෝ 1326 හෝ මියගිය බව සළකනු ලබයි. ඔහු විසින් පිහිටුවන ලද කුඩා රාජ්‍යය පසු කළෙක ලෝක ඉතිහාසයේ විශාලම අධිරාජ්‍යයක් බවට පත් වූයේය.

ඔස්මාන් පිළිබඳ කිසිදු විස්තරාත්මක සමකාලීන වාර්තාවක් නොමැති හෙයින් ඔහුගේ ජීවිතය පිළිබඳ ඉතිහාසකරුවන් අතර ඇත්තේ අඩු දැනුමකි. ඇතැම්විට ඔහුගේ ජීවිතය පිළිබඳ පැවසෙන කරුණුවල සත්‍යය සහ ප්‍රබන්ධ වෙන්කර හඳුනා ගැනීම අපහසු වී ඇත.

ඔහු පිළිබඳ බොහොමයක් ඉතිහාස කරුණු ලියැවී ඇත්තේ ඔස්මාන් ගේ මරණින් සියවසක් ද ඉක්ම ගිය පසු ය. ඔස්මාන්ගේ පාලනයට දෙවියන්ගේ ආශීර්වාදය ලැබුණ බවට හැඟවීම සඳහා නිර්මාණය කරන ලද ඔස්මාන් ගේ සිහිනය පිළිබඳ කතා පුවත මෙසේ පසුකාලීනව නිර්මාණය වූවකැයි සළකනු ලබයි.

ඔස්මාන්ගේ සිහිනය

ඩර්විෂ් ආගමික නායකයකු වූ ශෙයික් එඩෙබාලි සමඟ ඔස්මාන් හිතවත් ව සිටියේය. එක් දිනක් රාත්‍රියේ ඔස්මාන් අපූරු සිහිනයක් දිටීය. ඒ අනුව එඩෙබාලිගේ පපුවෙන් නැග එන චන්ද්‍රයා ඔස්මාන්ගේ පපුව තුළට බැස ගියේය. ඉන් පසු ඔහුගේ නාභියෙන් ගසක් හට ගත්තේය. එම ගස සෙවණෙහි කඳු පන්තීන් නැගුණ අතර ඒවා පාමුල ගංගාවන් හට ගත්තේය. ඇතැම්හු මෙම දිය පහරවලින් දිය බීවෝය. ඇතමෙක් සිය උද්‍යානවලට ජලය දැමූහ. තවත් අයෙක් වතුර මල් ඉදි කළෝය.

ඔස්මාන් පිබිදුන පසු තමා දුටු සිහිනය පිළිබඳ එඩෙබාලිට කියා සිටියේය. ඔහු ඒ අසා ඔස්මාන්ට සුබ පැතීය. “මා පුත, ඔබට සුභාශිංෂන වේවා. මක් නිසාද යත් දෙවියන් වහන්සේ ඔබටත් ඔබේ උරුමක්කාරයින්ටත් අධිරාජ්‍ය තනතුර ප්‍රදානය කර ඇති බැවිනි. මගේ දියණිය මල්හුන් ඔබේ බිරිඳ වනු ඇත.”

යුධ ජයග්‍රහණ

පුරාවෘත්තවලට අනුව ඔස්මාන් ගේ පියා අර්ටුගෘල් සිය ගෝත්‍රය ඇනටෝලියාව වෙත ගෙන ආයේ මොංගොල් ආක්‍රමණවලින් ගැලවීමට ය. තවද එවක සුලු ආසියාවේ වූ සෙල්ජුක් තුර්කීන් අර්ටුගෘල්ට බයිසන්ටියමට නුදුරු ප්‍රදේශයක පදිංචි වීමට ඉඩ දුන් බව කියැවේ. එහෙත් සෙල්ජුක්වරුන් සමඟ ඔහුගේ සබඳතාව ද ප්‍රබන්ධයක් ලෙස ද සැක කරනු ලබයි.

සිය පියාගේ ඇවෑමෙන් 1280 දශකයේදී ඔස්මාන් සිය ගෝත්‍රයේ නායකයා හෙවත් බේ ලෙස පත් විය. ඔහු බයිසන්ටියම් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශවලට නිතර පහර දුන්නේ ය. විශේෂයෙන් ම නයිසියාවට එල්ල වූ ප්‍රහාර හමුවේ බයිසන්ටියම් පාලනයෙන් එම ප්‍රදේශ ගිලිහී යන තත්ත්වයක් ඇති විය. මෙහි ප්‍රතිඵලය ලෙස 1302 දී පමණ ඔස්මාන් පරාජය කිරීමට බයිසන්ටියම් හමුදාවක් එවන ලදී. 1302 ජූලි මස අවසන සිදු වූ බෆෙයුස් සංග්‍රාමය නමින් හැඳින්වෙන සටනේදී ඔස්මාන් විසින් බයිසන්ටියම් සේනාංකය පරාජය කරනු ලැබුණි.

ඔස්මාන්ගේ පාලන සමය තුළ ඔටෝමන් බලය පැතිරීම (Wikimedia Commons)
ඔස්මාන්ගේ පාලන සමය තුළ ඔටෝමන් බලය පැතිරීම (Wikimedia Commons)

ඔස්මාන් අනුගමනය කළේ තම පාලන ප්‍රදේශය අවට වූ තුර්කි ගෝත්‍ර සමඟ සාමයෙන් හිඳිමින් බයිසන්ටියමට පහර දීමේ උපක්‍රමික පියවරයි. සත්‍ය වශයෙන් ම බයිසන්ටියම් පාලන ප්‍රදේශයක් අසළ සිය බල ප්‍රදේශය පිහිටීම ඔහුට වාසිදායක වූයේය. ඔහු උතුරු දෙසට සකර් යා නදිය ඔස්සේ ද නිරිතදිග දෙසට මර්මරා මුහුද කරා ද සිය බලය පැතිරවීය.

බයිසන්ටියමට අයත්ව තිබූ බුර්සා නගරය අල්ලා ගැනීම ඔස්මාන් ගේ යුධ ව්‍යාපාරයේ කූඨප්‍රාප්තිය වූ අතර ඔටෝමන් අධිරාජ්‍යයේ නැගීමෙහි ඉතාම වැදගත් සන්ධිස්ථානයක් විය. බුර්සා නගරය අල්ලා ගැනීමට අවශ්‍ය අවි බලය ඔස්මාන් සතුව නොවීය. එහෙයින් ඔස්මාන් නගරය වටලාගෙන සිටියේය. මෙම වටලෑම 1317 – 1320 අතර කාළයේ ඇරඹී 1326 දී අවසන් වූයේ නගරය අල්ලා ගැනීමෙනි. ඊට මඳ කළකට පෙර ඔස්මාන් මියගිය බව ද කියනු ලබයි.

ඔස්මාන්ගේ පුත්‍රයා වූ ඔර්හාන් යටතේ බුර්සා නගරය ඔටෝමන්වරුන්ගේ අගනුවර ලෙස ප්‍රචලිත විය.

විවාහයන් සහ දරුවෝ

ඔස්මාන් විවාහ වූ කාන්තාවන් දෙදෙනකු පිළිබඳ සඳහන් ය. ඒ මල්හුන් හටුන් සහ රබියා බලා හටුන් ය. මල්හුන් හටුන් ඔර්හාන් ගේ මව වූ අතර රබියා බලා හටුන් ඇලඩින් පාෂාගේ මව වූවාය. මෙම පුත්‍රයින් දෙදෙනාගෙන් වැඩිමහලු තැනැත්තා කවරෙකුදැයි අපැහැදිලි ය. එහෙත් ඔර්හාන් සිය පියාගේ ඇවෑමෙන් ඔටෝමන්වරුන් ගේ නායකයා වූ අතර ඇලඩින් පාෂා සිය පියාගේ මරණින් වසර තුනකට පමණ පසු මිය ගියේය.

ඔස්මාන්ට තවත් පුත්‍රයින් කිහිප දෙනකු ද දියණියක ද සිටි බව සළකනු ලැබේ.

ඔස්මාන්ගේ කඩුව

ඔටෝමන් රාජකීයත්වයේ සංකේතයක් වූ ඔස්මාන්ගේ කඩුව ඩර්විෂ් ආගමික නායක ශෙයික් එඩෙබාලි විසින් ඔස්මාන්ගේ ඉණ වටා පළඳින ලදැයි සළකනු ලැබේ. ඔටෝමන් අධිරාජ්‍යයට නව සුල්තාන්වරයකු පත් වූ පසු, ඔස්මාන්ගේ කඩුව එම සුල්තාන්වරයාට පැළඳීම සඳහා විශේෂ උත්සවයක් ද පවත්වන ලදී.

Related posts

Leave a Reply