December 11, 2017

හෙල්මුට් කෝල්

හෙල්මුට් කෝල්

හෙල්මුට් ජෝසෆ් මයිකල් කෝල් (1930 අප්‍රේල් 3 – 2017 ජූනි 16) බටහිර ජර්මනියේ චාන්සලර්වරයා ලෙස 1982 ඔක්තෝබර් 1 වනදා පටන් කටයුතු කළ අතර 1990 ඔක්තෝබර් 3 වනදා ජර්මනිය එක්සත් වූ පසු 1998 ඔක්තෝබර් 27 දක්වා එහි චාන්සලර්වරයා ලෙස දිගටම කටයුතු කළේය. 1973-1998 සමයේ එරට ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ (Christian Democratic Union – CDU) සභාපතිවරයා වූ හෙතෙම 1969 – 76 සමයේ රයින්ලන්ත-පැලටිනේට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා විය.

කෝල් උපන්නේ ජර්මනියේ ලුඩ්විග්ස්හේෆන් නගරයේ ය. ඔහු වයස අවුරුදු 17 දී CDU පක්ෂයට බැඳුණි. හීඩල්බර්ග් සරසවියෙන් ඔහු අධ්‍යාපනය හැදෑරීය.

1969 දී රයින්ලන්ත-පැලටිනේට් ප්‍රධාන අමාත්‍යවරයා වන විට ඔහුගේ වයස අවුරුදු 39 ක් විය. එම ධූරයට පත් ලාබාලම පුද්ගලයා වන්නේ ද කෝල් ය.

1976 දී ඔහු CDU පක්ෂයේ චාන්සලර් ධූර අපේක්ෂකයා ලෙස ජර්මන් මහ මැතිවරණයට තරඟ කළේය. නමුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්ව සභාග ආණ්ඩුවක් පිහිටවූයෙන් කෝල් විපක්ෂ නායක බවට පත් විය. ඉන් වසර හයකට පසු පැවති රජය විශ්වාසභංගයකින් පරාජය වූ පසු කෝල් චාන්සලර් බවට පත් විය..

කෝල්ගේ පාලන සමයේ පළමු වසරවල ඔහුට ප්‍රබල චෝදනා එල්ල විය. ඔහු රටෙහි ප්‍රශ්න විසඳනු වෙනුවට “බකංනිලාගෙන” සිටින බව චෝදනා මතු විය. ඔහුට එරෙහි චෝදනාවලට කෝල් පිළිතුරු දුන්නේ කැබිනට් මණ්ඩලය නිරතුරුව සංශෝධනය කිරීමෙනි.

1989 නොවැම්බර් 9 වනදා බර්ලින් තාප්පය බිඳ වැටෙන අවස්ථාවට කෝල් සූදානමින් සිටියේ නැත. ඒ අවස්ථාවේ ඔහු සිටියේ පෝලන්තයේ සංචාරයක නිරත වෙමිනි. සියල්ල ඉතා වේගයෙන් ම සිදු විය. කෙසේ නමුත් පසුව ජර්මනිය යළි එක්සත් කිරීමේ කටයුත්ත මෙහෙයවීමේදී ඔහු සාර්ථක විය.

කෙසේ නමුත් මීළඟ වසරවලදී ඔහු යළිත් අසාර්ථක වන්නට විය. නැගෙනහිර ජර්මනියේ ආර්ථිකය නගා සිටුවීමට ගත් උත්සාහයන් සිතූ තරම් සාර්ථක වූයේ නැත. ඔහු කිසියම් ක්‍රමයකින් බලයේ රැඳී සිටීම පමණක් අරමුණු කරගෙන කටයුතු කරන බවට චෝදනා එල්ල විය.

1998 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ හරිත පක්ෂ අතර එකමුතුවකින් CDU පක්ෂය මැතිවරණයෙන් පරාජය කරන ලදී. වසර 16 කට පසු කෝල් විපක්ෂයේ අසුන් ගත්තේය.

ඉන් වසරකට පසු පක්ෂ අරමුදලට නීති විරෝධී ආකාරයෙන් මුදල් ලබාගත් බවට කෝල්ට එරෙහිව චෝදනා එල්ල වූ අතර මුලින් එම චෝදනා කෝල් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් පසුව තමන් එසේ මුදල් ලබාගත් බව කෝල් පිළිගත්තේය.

2001 දී කෝල්ගේ පළමු බිරිඳ හැනලෝර් රෙනර් සිය දිවි නසා ගත්තාය. පසු කළෙක, එනම් 2008 දී, කෝල් දෙවන වරට විවාහ විය. ඔහුගේ දෙවන බිරිඳ වූ මයික රිෂ්ටර් කෝල්ගේ කටයුතු අනවශ්‍ය ලෙස පාලනය කරන්නට වූ අතර කෝල්ගේ පළමු විවාහයේ දරුවන් සහ කෝල් අතර ද ප්‍රශ්න ඇති වූයේය.

හෙල්මුට් කෝල් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධව සිටින්නේ 2004 දෙසැම්බරයේ සුනාමිය අවස්ථාවේ ඔහු නිවාඩුවක් සඳහා පැමිණ කොග්ගල නැවතී සිටි හෙයිනි.

ලෝක දේශපාලනය තුළ ඔහු ප්‍රකට වන්නේ ජර්මනිය එක්සත් කිරීමට ඔහු දුන් නායකත්වය හේතුවෙනි.

Pic: Bundesarchiv, B 145 Bild-F074398-0021 / Engelbert Reineke / CC-BY-SA 3.0

Related posts

Leave a Reply