December 11, 2017

2017 එක්සත් රාජධානි මැතිවරණය – කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු නොවූ ලෙස පසු බසී

2017 එක්සත් රාජධානි මැතිවරණය – කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු නොවූ ලෙස පසු බසී

එක්සත් රාජධානි මහ මැතිවරණයෙන් එරට පාලක කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු නොවූ පසුබෑමකට මුහුණ දුන්නේය.

2017 ජූනි 8 වනදා මැතිවරණය පැවැත්වූ අතර, දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව කොන්සර්වේටිව් පක්ෂයට බහුතර බලය හිමි නොවනු ඇතැයි තහවුරු වී ඇත.

අප්‍රේල් මාසයේදී මැතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාව වනවිට කොන්සර්වේටිව් පක්ෂය ඉතා පැහැදිලි ජනප්‍රියත්වයකින් යුක්ත වූ අතර කම්කරු පක්ෂය වසර 80 කින් ලද නරකම මැතිවරණ ප්‍රතිඵලය ලබනු ඇතැයි අනාවැකි පළ විය. එහෙත් සියල්ල කණපිට හරවමින් කම්පරු පක්ෂය බලාපොරොත්තු නොවූ ආසන ප්‍රමාණයක් ලබාගෙන ඇත.

මේ අතර ස්කොට්ලන්ත ජාතික පක්ෂය (Scottish National Party) ද ඇතැම් ආසනවලදී පරාජයට පත් ව පසුබෑමකට ලක්ව තිබේ.

කෙන්සිංටන් ආසනයේ ඡන්ද ගණන් කිරීම තාවකාලිකව නවතා දැමූ හෙයින් එම ආසනයේ ප්‍රතිඵල නිකුත් වීම පමා විය. අනෙක් ආසන 649 න් 318 ක් කොන්සර්වේටිව් පක්ෂයට ද 261 ක් ලේබර් හෙවත් කම්කරු පක්ෂයට ද ලැබුණ අතර ස්කොට්ලන්ත ජාතික පක්ෂයට ආසන 35 ක් ලැබුණි. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 12ක් ලද අතර උතුරු අයර්ලන්තයේ ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය (DUP) ආසන 10ක් ද සින් ෆෙන් පක්ෂය ආසන 7 ක් ද ලබා ගත්තේය. ප්ලේඩ් කුම්රි (Plaid Cymru) හෙවත් වේල්ස් ජාතික පක්ෂය ආසන 4 ක් දිනාගත්තේය. හරිත පක්ෂයට එක් අසුනක් ලැබුණි.

හිටපු ලිබරල් ඩිමොක්‍රටික් නායක නික් ක්ලෙග් පරාජිත අපේක්ෂකයන් අතර ප්‍රමුඛයකු වේ.

මේ අතර කම්කරු පක්ෂ නායක ජෙරමි කෝර්බින් අගමැති තෙරේසා මේ ඉල්ලා අස්විය යුතු බව සඳහන් කළේය. අවසන් ප්‍රතිඵලය කුමක් වුවත් බ්‍රිතාන්‍යයේ දේශපාලන සිතියම වෙනස් කිරීමට ඔවුන් සමත් වූ බව කම්කරු පක්ෂ නායකයා තවදුරටත් කියා සිටියේය. හිටපු ස්කොට්ලන්ත ජාතික පක්ෂ නායක ඇලෙක්ස් සැමන් සඳහන් කළේ ජයග්‍රාහකයා තවම තහවුරුව නැතත් පරාජිතයා කවරෙක්දැයි පැහැදිලි බවත්, තෙරේසා මේ ඉල්ලා අස්විය යුතු බවත් ය.

තෙරේසා මේ ප්‍රකාශ කර සිටියේ කොන්සර්වේටිව් පක්ෂය සුලුතර රජයක් පිහිටුවන බවත් DUP ය ඊට සහය දෙනු ඇති බවත් ය.

බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 650 න් 326 ක් ලබාගත යුතු ය.

Related posts

Leave a Reply