December 11, 2017

ඊශ්‍රායලයේ දැවැන්තම යුධ ජයග්‍රහණය – සය දින යුද්ධය​

ඊශ්‍රායලයේ දැවැන්තම යුධ ජයග්‍රහණය – සය දින යුද්ධය​

සය දින යුද්ධය අරාබි රටවල්වලට එරෙහිව ඊශ්‍රායලය ලබාගත් දැවැන්තම යුධ ජයග්‍රහණය ලෙස සැළකිය හැක. 1967 ජූනි 5 සිට 10 දක්වා කෙරුණ මෙම යුද්ධයෙන් ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය යන රටවල් අන්ත පරාජයකට පත් වූ අතර නැගෙනහිර ජෙරුසලම ඇතුලු බටහිර ඉවුර ජෝර්දානයෙන් ද, ගාසා තීරය සහ සිනායි අර්ධද්වීපය ඊජිප්තුවෙන් ද, ගෝලාන් කඳුකරය සිරියාවෙන් ද පවරා ගැනීමට ඊශ්‍රායලය කටයුතු කළේය.

1967 මැයි මාසය එළඹෙන විට අරාබි රටවල් සහ ඊශ්‍රායලය අතර මතභේදාත්මක තත්ත්වයන් උග්‍ර අතට හැරෙමින් පැවතුණි. පලස්තීන විමුක්ති සංවිධානයේ කටයුතු සහ ඊට ඊශ්‍රායලය දැක්වූ ප්‍රතිචාර ද, දෙපාර්ශවයේ හමුදාමය සූදානම ද හේතුවෙන් යුද්ධය ඇති වීමට ඉඩකඩ වැඩි විය.

1967 මැයි මාසයේදී සිරියානු දේශ සීමාවේ ඊශ්‍රායල හමුදා ඒකරාශී වන බවට වාර්තා පළ වූ අතර එයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් සිනායි අර්ධද්වීපයේ ආරක්ෂක වළලු දෙකක සේනා රැඳවීය.

මේ අතර මැයි 19 වනදා සිනායි අර්ධද්වීපයේ සහ ගාසා තීරයේ සිටි එක්සත් ජාතීන්ගේ හමුදා ඉවත් කරගන්නා ලෙස නසර් දැන්වීය. එමෙන්ම සිනායි අර්ධද්වීපය කෙළවර ශාම් එල් ෂෙයික් හි හමුදා රැඳවූ නසර් මැයි 22 වනදා සිනායි සහ අරාබි අර්ධද්වීප අතර පිහිටි ටිරාන සමුද්‍ර සන්ධිය අවහිර කළේය. මෙය ඊශ්‍රායලය විසින් සළකන ලද්දේ යුද්ධ ප්‍රකාශයක් ලෙස ය.

සිද්ධින් සියල්ල යුද්ධය කරා වේගයෙන් ගමන් කරමින් තිබිණ. මැයි 30 වනදා ඊජිප්තුව සහ ජෝර්දානය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන ලදී. ජූනි 1 වනදා ඉරාක හමුදා සේනාංකයක් ජෝර්දානයට එවීමට අවසර ලැබුණි. මේ අතර ඊශ්‍රායලයේ එදින ජාතික ආණ්ඩුවක් පිහිටුවන ලදී.

හමුදා ශක්තිය

යුද්ධය අවස්ථාවේ ඊශ්‍රායල හමුදා ශක්තිය නිත්‍ය හමුදාව 50,000 ක් සහ අතිරේක සේනාංක 214,000 ක් විය. ඉන් 100,000 ක් පමණ යුද්ධයට සම්බන්ධ වූහ. මේ අතර ඊජිප්තුවේ හමුදා ශක්තිය 240,000 ක් වූ අතර ඉන් කොටසක් උතුරු යේමනයේ සටන් වදිමින් සිටියෝය. සිනායි අර්ධද්වීපයේ 100,000 ක පමණ සේනාංක ස්ථානගත කර තිබුණි. මේ අතර සිරියානු, ජෝර්දාන සහ ඉරාක සමස්ථ හමුදා ශක්තිය 307,000 ක් විය. සිරියානු හමුදාවේ 75,000 ක් පමණ ඊශ්‍රායල දේශසීමාව ආශ්‍රිතව රඳවා තිබුණි.

ජෝර්දාන හමුදාව බ්‍රිගේඩ 11 කින් සමන්විත 55,000 ක ශක්තියකින් යුතු හමුදාවක් විය. ඊශ්‍රායලය සමඟ ගැටුණ අනෙක් රටවල මෙන් නොව ජෝර්දානයේ හමුදාව විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව සමඟ ශක්තිමත් සබඳතාවයක් පවත්වාගන ගිය අතර එහි අවි ආයුධ සහ යුධ ටැංකි ආදිය ද බටහිරින් ගෙන්වන ලද ඒවා විය. ජෝර්දාන් හමුදාවේ බ්‍රිගේඩ නවයක් බටහිර ඉවුරේ ද අනෙක් දෙක ජෝර්දාන් ගංගා නිම්නයේ ද ස්ථානගත කර තිබුණි.

ඊශ්‍රායලය ජෝර්දාන් පෙරමුණට 40,000 ක සෙබලුන් සහ යුධ ටැංකි 200 ක් අනුයුක්ත කර තිබුණි.

ජෝර්දාන් ආයුධ සහ යුධ ටැංකි ඇමරිකන් වුවද කුඩා ජෝර්දාන් ගුවන් හමුදාව සතුව වූයේ බ්‍රිතාන්‍යය යානා ය. ඒ අතර හෝකර් හන්ටර් වර්ගයේ යානා 24 ක් විය.

අනෙකුත් අරාබි රටවල මූලිකවම තිබුණේ සෝවියට් ගුවන් යානා සහ අවි ආයුධ ය. ඊශ්‍රායල හමුදා සතුව දේශීයව නිෂ්පාදනය කළ අවි ආයුධ මෙන්ම බටහිරින් ගෙන්වූ අවි ද විය. ඔවුනගේ ගුවන් හමුදාවේ ප්‍රබලම ප්‍රහාරක යානය වූයේ ප්‍රංශයේ නිෂ්පාදිත ඩ්‍රෙසෝල්ට් මිරාජ් III යානය යි.

ඔපරේෂන් ෆෝකස්

ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කළේ කළින් අනතුරු නොඅඟවා (යුධ ප්‍රකාශ නොකර) ඊජිප්තු ගුවන් හමුදාව ඉලක්ක කරගෙන එල්ල කරන ලද දරුණු ප්‍රහාරයකිනි. මෙහි අරමුණ වූයේ ඊජිප්තු ගුවන් හමුදාව ගුවන් ගත වීමට පෙර එහි ශක්තිය විනාශ කිරීමය.

ඊශ්‍රායල වේලාවෙන් 1967 ජූනි 5 වනදා උදෑසන 7.45 ට ගුවන් යානා ප්‍රහාර අනතුරු ඇඟවීමේ නළා නාද වූ අතර ඊශ්‍රායල ගුවන් යානා මෙහෙයුම කරා පිටත් වූයේය. ඒවා රේඩාර් වලට හසු නොවන පරිදි ඉතා පහළින් පියාසර කරමින්, මුලින් මධ්‍යධරණී මුහුද දෙසට පියඹා පසුව යළි හැරී සිය ඉලක්ක කරා ළඟා විය. ඊජිප්තු ගුවන් හමුදාවේ වැඩි ප්‍රමාණයක් ගුවන් යානා විනාශ වූ අතර බොහෝ කඳවුරුවල ධාවන පථවලට ද අලාභ හානි සිදු කරන ලදී.

දිනය තුළ අනෙකුත් රටවල ද ගුවන් හමුදා ඉලක්ක කරගෙන ඊශ්‍රායල ප්‍රහාර එල්ල වූයේය. මේ අනුව යුද්ධය ඇරඹි ජූනි 5 වනදා ඊශ්‍රායලය සිය මූලික ඉලක්කය සපුරා ගත්තේය. ඊළඟ දින කිහිපය තුළ දී සටන් බිම තුළ ගුවන් ඒකාධිකාරය තමන් සතු කර ගැනීමට ඊශ්‍රායලය සමත් විය.

සිනායි අර්ධද්වීපය

ඊජිප්තු හමුදාව සිනායි අර්ධද්වීපය ප්‍රදේශයේ 100,000 ක පමණ සේනාංක රඳවා තිබුණ අතර යුධ ටැංකි 950 ක් පමණ ද කාලතුවක්කු 1000 ක් පමණ ද සන්නද්ධ රථ 1,100 ක් ද ඔවුන් සතුව සිනායි අර්ධද්වීපයේ වූයේය.

මේ අතර ඊශ්‍රායලයට 70,000 ක පමණ පිරිසක් සහ යුධ ටැංකි 700 ක් ඊජිප්තු දේශසීමාව ආසන්නයේ ස්ථානගත කර තිබුණි.

සයදින යුද්ධය අවස්ථාවේ සිනායි අර්ධද්වීපය දෙසට එල්ල වූ ප්‍රධානම ප්‍රහාරය එල්ල වූයේ උතුරුදිග සහ මධ්‍යම ප්‍රදේශවල ඊශ්‍රායල හමුදා වෙතිනි.

උතුරුදිග සිනායි හි ඊශ්‍රායල් ඩිවිෂනය මෙහෙයවූයේ මේජර් ජෙනරාල් ඊශ්‍රායල් තාල් ය. 1967 ජූනි 5 වනදා උදෑසන 7.50 ට පමණ ගාසා තීරයට හා සිනායි හි උතුරුදිග ප්‍රදේශයට ඊශ්‍රායල් හමුදා ඇතුලු වූහ. ඔවුන් එදින අවසන් වනවිට එහි වැදගත් ස්ථාන කිහිපයක් අල්ලාගත් අතර, රෆා හිදී ඊජිප්තු සෙබලු ඔවුනට සැළකිය යුතු ප්‍රතිරෝධයක් දැක්වූහ. මේ අතර ඊශ්‍රායල් හමුදා සේනාංකයක් අරීෂ් දෙසට ද ගමන් කළ හ.

සිනායි අර්ධද්වීපය, 1967 ජූනි 5-6
සිනායි අර්ධද්වීපය, 1967 ජූනි 5-6

ජූනි 6 වනදා උදෑසන ඊශ්‍රායල් සෙබලු අරීෂ් වෙත කඩා වැදුණ අතර ප්‍රබල ඊජිප්තු ප්‍රතිරෝධයක් මැඩලමින් නගරය අල්ලා ගත් හ.

ජූනි 5 වනදා කර්නල් ඇල්බර්ට් මැන්ඩ්ලර් යටතේ වූ ඊශ්‍රායල් 8 වන සන්නාහ සන්නද්ධ බ්‍රිගේඩය කුන්තිලා ප්‍රදේශයට පහර දුන්නේය. මේ ප්‍රහාරය එල්ල වූයේ ඊජිප්තු හමුදාවල අවධානය වෙනතක යොමු කෙරෙන අටියෙනි. මක් නිසාද යත්, සිනායි හි අනෙක් ප්‍රබල ප්‍රහාරය එල්ල වීමට සූදානම් ව තිබුණේ මධ්‍යම පෙරමුණෙන් බැවිනි.

මේජර් ජෙනරාල් ඒරියල් ෂැරෝන් විසින් මෙහෙයවන ලද මධ්‍යම පෙරමුණේ සේනාංක ප්‍රබල ඊජිප්තු බලකොටුවක් වූ උම් – කටෙෆ් වෙත පහර දුන්නෝය. අවට ප්‍රදේශ කිහිපයකදී ම ඊජිප්තු හමුදා ඊශ්‍රායල හමුදාවලට සැළකිය යුතු ප්‍රතිරෝධයක් පෑවෝය. නමුත් එදින රාත්‍රියේ ප්‍රධාන ප්‍රහාරය උම් – කටෙෆ් වෙත එල්ල වූයේය. රාත්‍රී 10 ට අතිශයින් ම ප්‍රබල කාලතුවක්කු ප්‍රහාරයකට උම් – කටෙෆ් ලක් කෙරුණි.

කෙසේ නමුත් ඊශ්‍රායල් යුධ ටැංකිවලට ඊජිප්තු හමුදා රැඳී සිටි ප්‍රදේශයට කඩා වැදීමට නොහැකි වූයේ බිම් බෝම්බ හේතුවෙනි. මේ අනුව ඊශ්‍රායල හමුදා බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම් භ කළහ.

ජූනි 6 වනදා සවස ඊශ්‍රායල හමුදා මාර්ගය පාදාගෙන ඊජිප්තු හමුදා සිටි ප්‍රදේශයට කඩා වැදුණ අතර එහිදී දරුණු යුධ ටැංකි සටනක් සිදුවිය. එම සටන අවසානයේදී ඊශ්‍රායල හමුදා ජයග්‍රාහී ලෙස ඊජිප්තු ස්ථාන අල්ලාගත් හ.

මේ අතර ජූනි 6 වනදා රාත්‍රිය වනවිට ඊශ්‍රායල හමුදා සිනායි හි අබු අගේලා මංසන්ධිය අල්ලාගත් හ. මේ බව සැළ වූ ඊජිප්තු ෆීල්ඩ් මාර්ෂල් අබ්දල් හකීම් අමර්, සිනායි අර්ධද්වීපය ආරක්ෂා කිරීම කළ නොහැක්කක් යයි නිගමනය කර එහි වූ ඊජිප්තු හමුදාවලට පසු බැසීමට අණ කළේය. මෙය සයදින යුද්ධයේදී ඊජිප්තු හමුදා සිදුකළ ප්‍රධානම අණුවණකම ය. කිසිදු ආකාරයක පිළිවෙලක් නොමැති පසු බැසීම ඔවුන් තවත් අපහසුතාවට පත් කළේය.

මීළඟ දිනවලදී ඊශ්‍රායල් හමුදා සිනායි හි දුර්ග සමහරක් අල්ලාගෙන ඊජිප්තු හමුදා පසුබසින් මං අවුරා ඔවුනට පහර දුන් හ. එහෙයින් නිරුපද්‍රිතව සූවස් ඇළ දෙසට පසු බැසීමට හැකි වූයේ ඇතැම් ඊජිප්තු සේනාංකවලට පමණි. එම සේනාංකවලට ද අධික උෂ්ණත්වය හේතුවෙන් පීඩා විඳීමට සිදු විය.

මේ අතර ජූනි 7 වනදා ඊශ්‍රායල් හමුදා සිනායි අර්ධද්වීපය දකුණෙහි වූ ෂාම් එල් ශෙයික් වෙත ගොඩ බැස්සෝය. හිමිදිරි පාන්දර ඇරඹි ප්‍රහාරය මධ්‍යාහ්නය වනවිට අවසන් වූයේ නගරයේ බලය ඊශ්‍රායල් හමුදා වෙත ලබා දෙමිනි.

ජූනි 8 වනදා වනවිට ඊශ්‍රායල හමුදා සිනායි අර්ධද්වීපය තුළ බලය තහවුරු කරගත් හ.

ජෝර්දානය සමඟ සටන

ජූනි 5 වනදා උදෑසන ජෝර්දානය ඊශ්‍රායලයට එරෙහිව යුධ වැදීමට පොළඹවන ලද්දේ ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් විසින් දුන් ව්‍යාජ තොරතුරකි. ඔහු කියා සිටියේ එදින උදේ සිදුවූ සටනින් ඊශ්‍රායල් ගුවන් හමුදාවට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.

මේ අනුව ජෝර්දානය ඊශ්‍රායලයට පහර දීම ඇරඹීය. ගුවනින් ද පහර දෙනු ලැබීය. මෙයින් සිදු වූ හානිය එතරම් විශාල නොවීය. මේ අතර මධ්‍යාහ්නය පසුව ස්වල්ප වෙලාවකින් ඊශ්‍රායල ගුවන් හමුදාව ජෝර්දාන් ගුවන් කඳවුරු දෙකකට පහර දුන්නේ ජෝර්දානයේ හෝකර් හන්ටර් ගුවන් යානා 21 ක් විනාශ කරමිනි.

මේ අතර ඉරාකයේ ගුවන් කඳවුරට පහර දුන් ඊශ්‍රායල ගුවන් යානා දැඩි අලාභ හානි සිදු කළහ.

මුලදී ඊශ්‍රායලය විසින් ජෝර්දාන ප්‍රහාර හමුවේ බොහෝකොටම ආරක්ෂාකාරී පියවර අනුගමනය කළ අතර, ජූනි 5 වනදා සවස් යාමයෙහි නැගෙනහිර යෙරුසලම වටලෑමට මෙහෙයුමක් දියත් කෙරිණ. තවත් ඊශ්‍රායල් සේනාංකයක් රමල්ලා වෙත ගමන් කළේය.

ජූනි 7 වනදා ඊශ්‍රායල් හමුදා විසින් පැරණි යෙරුසලම් නගරය අල්ලා ගන්නා ලදී. එදින ම තවත් ඊශ්‍රායල හමුදා සේනාංකයක් බෙත්ලෙහෙම අල්ලාගත් හ. ජෙනින් නගරය අල්ලාගන්නා ලද්දේ තරමක සටනකින් පසුව ය.

ගෝලාන් කඳුකරය

මීළඟ දිනයන් හි ඊශ්‍රායලයේ අවධානය යොමු වූයේ සිරියාව යටතේ පැවති ගෝලාන් කඳුකරය කෙරෙහි ය. සිරියාව ද ජෝර්දානය මෙන්ම ඊජිප්තුව විසින් ප්‍රකාශ කළ වැරදි තොරතුර මත යමින් ඊශ්‍රායලයට පහර දුන්නේය. නමුත් ඊශ්‍රායලය එදෙස මූලික අවධානය යොමු කළේ සිනායි ප්‍රදේශයේ සටන්වලින් පසුව ය. ආරම් භක අවස්ථාවලදී සිරියානු ගුවන් හමුදා උතුරුදිග ඊශ්‍රායලයට පහර දුන් නමුත් ඊශ්‍රායලයේ ගුවන් හමුදා ගුවනෙහි බලය තහවුරු කරගත්තේය.

ඊශ්‍රායලය විසින් අල්ලාගත් ප්‍රදේශ (Wikimedia Commons)
ඊශ්‍රායලය විසින් අල්ලාගත් ප්‍රදේශ (Wikimedia Commons)

ගෝලාන් කඳුකරයට පහර දීම අවදානම් සහගත විය. ඔත්තුකරුවන් මගින් එහි වූ ආරක්ෂක පියවර පිළිබඳ යම් අදහසක් ඊශ්‍රායලය විසින් ලබාගෙන තිබුණ නමුත් සිරියානු හමුදා ඉහළ භූමිය අත්පත් කරගෙන සිටි බැවින් ඊශ්‍රායල හමුදාවන්ට අවාසි සහගත විය.

කෙසේ නමුත් ජූනි 9 වනදා ගෝලාන් කඳුකරයට ඊශ්‍රායල හමුදා කඩා වැදුණි. ප්‍රබල ප්‍රතිප්‍රහාර මැද ඔවුහු ඉදිරියට ඇදුණ අතර ජූනි 10 වනවිට එම ප්‍රදේශයේ බලය අත්පත් කරගැනීමට ද ඔවුහු සමත් වූහ. දුර්වල සිරියානු හමුදා නායකත්වය ඊශ්‍රායලයේ මෙම ජයග්‍රහණයට හේතු විය. ඊශ්‍රායලය සියලු ප්‍රතිවාදීන් පරාජය කර තිබුණි.

1967 ජූනි 11 වනදා සටන් විරාමයකට එළඹෙන ලදී. ඊශ්‍රායලය විසින් ගාසා තීරය සහ සිනායි අර්ධද්වීපය ඊජිප්තුවෙන් ද, බටහිර ඉවුර ජෝර්දානයෙන් ද, ගෝලාන් කඳුකරය සිරියාවෙන් ද ලබාගන්නා ලදී. අරාබි රටවල් මෙම පරාජයෙන් දරුණු ලෙස අපකීර්තියට පත් වූහ.

Related posts

Leave a Reply