December 11, 2017

ප්‍රංශයේ නව අගමැති එදුවාර්ද් ෆිලීපේ

ප්‍රංශයේ නව අගමැති එදුවාර්ද් ෆිලීපේ

නව ප්‍රංශ අගමැතිවරයා ලෙස ලෙ හව්රෙ නගරයේ නගරාධිපති සහ ප්‍රංශ ජාතික සභා මන්ත්‍රී එදුවාර්ද් ෆිලීපේ පත් කිරීමට නව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ (2017 මැයි 15) කටයුතු කළේය.

මේ අනුව ෆිලීපේ, හිටපු අගමැති බර්නාර්ඩ් කැසනුවේ හමුවීමෙන් අනතුරුව සිය ධූරයේ වැඩ භාරගත්තේය.

1970 නොවැම්බර් 28 වනදා රෝවන් නගරයේ උපත ලද ෆිලීපේගේ දෙමාපියෝ ගුරුවරු වූහ. ඔහුගේ පවුල වාමාංශික නැඹුරුවකින් යුතු වූ අතර ෆිලීපේ ද මුලින්ම දේශපාලනය ඇරඹූයේ සමාජවාදී පක්ෂයෙනි. කෙසේ වෙතත් ඔහු 2002 දී මහජන ව්‍යාපාරයක් සඳහා එකමුතුව (UMP) පක්ෂයට එක් විය. ප්‍රංශයේ ප්‍රධානම දක්ෂිනාංශික පක්ෂය වන මෙය අද රිපබ්ලිකන් පක්ෂය ලෙස හඳුන්වනු ලබයි.

ෆිලීපේ හිටපු අගමැති ඇලේන් ජුප්පෙගේ සමීපතමයකු වූ අතර ඔහු යටතේ නිලතල කිහිපයක් දරා ඇත. 2010 දී උතුරුදිග ප්‍රංශයේ ලෙ හව්රෙ හි නගරාධිපති ලෙස පත් වූ ඔහු 2014 දී නැවත එම ධූරයට පත් විය.

ෆිලීපේ ප්‍රංශයේ ජාතික සභාවට පත් වූයේ 2012 දී ය.

එමානුවෙල් මැක්‍රොන් වාමාංශික මෙන්ම දක්ෂිනාංශික කණ්ඩායම් ද සිය ආණ්ඩුව වෙත ළං කරගැනීමට බලාපොරොත්තු වන බවට පැහැදිලි සාධකයක් ලෙස ෆිලීපේගේ පත්වීම දැකිය හැක.

Pic: BFMTV

Related posts

Leave a Reply