December 11, 2017

බංග්ලාදේශයේ ඓතිහාසික​ සෝමපුර මහා විහාරය​

බංග්ලාදේශයේ ඓතිහාසික​ සෝමපුර මහා විහාරය​

සෝමපුර මහා විහාරය ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටි ප්‍රසිද්ධම ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයකි. වර්තමාන දේශපාලන බෙදීම් අනුව එය පිහිටා ඇත්තේ බංගාදේශයේ වයඹදිග ප්‍රදේශයේ පහාර්පූර් හි ය. ක්‍රි. ව. 8 වන සියවසදී මෙය නිර්මාණය කරන ලද්දේ පාල රාජවංශයේ දෙවැනි රජු වූ ධර්මපාල විසින් බව සැළකේ. මේ අතර ඇතැම් මූලාශ්‍ර කියා සිටිනුයේ එය පාල රාජ වංශයේ තෙවැනි පාලකයා වූ දේවපාල රජුගේ සමයේ ඉදි කෙරුණ බවයි.

පාල රජ සමය ඉන්දියාවේ බෞද්ධ විහාර ගණනාවක් ඉදි වූ සමයකි. එකළ රටේ අධ්‍යාපන ආයතන ද ඉතා හොඳ තත්ත්වයේ පැවතිණ. වික්‍රමශීලා විශ්ව විද්‍යාලය, නාලන්දා විශ්ව විද්‍යාලය, ඕදන්තපුර, ජග්ගදාල සහ සෝමපුර වැනි විහාර එකළ ප්‍රකට ස්ථාන විය.

සෝමපුර මහාවිහාරයේ සැලැස්ම එයටම ආවේණික වේ. එහි භූමිය චතුරස්‍රාකාර ය. එහි මධ්‍යයයේ විහාරයක් වන අතර භූමියේ පිටත පවුරට යාබද කුටි 177 ක් වේ. ප්‍රධාන විහාරය අඩි 70 ක් පමණ උසය. එහි ඉහළ සෘජුකෝණී සමතල මුදුනක් වේ. කෙසේ නමුත් මෙය නටබුන් වීමට පෙර එහි කොතක් වන්නට ඇතැයි සිතිය හැක.

බිම් සැලැස්ම (Wikimedia Commons)
බිම් සැලැස්ම (Wikimedia Commons)

විහාර භූමියට ඇතුල් වීමට භාවිතා කළ ප්‍රධාන දොරටුව වූයේ උතුරු දෙසට වන්නටය. මුලුතැන් ගෙය සහ දාන ශාලාව භූමියේ ගිණිකොණදිග කොටසේ පිහිටි අතර ඊසානදිග කොටසේ ද වෙනත් ගොඩනැගිලි කිහිපයක් විය.

මෙම විහාරය ආගමික කටයුතු සඳහා මනාව ගැලපෙන, සරල සහ ඊටම ආවේණික සැළසුමකින් යුක්ත ය. එමෙන්ම එය එකළ ඉන්දියාවේ ප්‍රකට ආගමික මධ්‍යස්ථානයක් විය. එහි බලපෑම ගංගානම් ඩෙල්ටාවේ අවට ප්‍රදේශවල මෙන්ම බගාන් සහ ජාවා දූපතේ බෞද්ධ සිද්ධස්ථාන සමහරක් නිර්මාණයේදී ද දිස්වන බව යුනෙස්කෝව පවසයි.

අලී නාකි (Ali Naqi) විසින් කළ ප්‍රතිනිර්මාණය - bdheritage.info
අලී නාකි (Ali Naqi) විසින් කළ ප්‍රතිනිර්මාණය – bdheritage.info

එමෙන්ම 17 වන සියවස පමණ වනතෙක් මෙම ස්ථානය වැදගත් ආගමික මධ්‍යස්ථානයක් වූ බවත් යුනෙස්කෝව කියයි.

ප්‍රධාන ඡායාරූපය: යුනෙස්කෝ

Related posts

Leave a Reply