December 11, 2017

එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනපති ලෙස දිවුරුම් දෙයි

එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනපති ලෙස දිවුරුම් දෙයි

ප්‍රංශයේ නව ජනාධිපති ලෙස එමානුවෙල් මැක්‍රොන් අද දින, එනම් 2017 මැයි 14 වනදා, දිවුරුම් දුන්නේය.

මැක්‍රොන් ජනාධිපති ධූරයට පත් වූයේ අප්‍රේල් – මැයි මාසවල පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසුවය.

අප්‍රේල් 23 වනදා පවත්වන ලද ජනාධිපතිවරණයේ පළමු වටයෙන් මැක්‍රොන් ජය ලබා ගත්තේ සියයට 24 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. (කියවන්න: 2017 ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය මැක්‍රොන්ට)

මැයි 7 වනදා පවත්වන ලද දෙවන වටයේ ඡන්ද විමසීමේදී ඔහු ජාතික පෙරමුණේ අපේක්ෂිකා මාරීන් ලෙ පෙන් පරාජය කර ජයග්‍රහණය කළේ සියයට 66 ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි. (කියවන්න: එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණය ජය ගනී)

ප්‍රංශ ජනපති නිල නිවස වන එලීසි මාලිගයේදී ජනපති ෆ්‍රංශුවා ඔලන්ද් මුණ ගැසුණ මැක්‍රොන් ඔහු හා පෞද්ගලික සාකච්ඡාවක යෙදුණ අතර ප්‍රංශයේ න්‍යෂ්ඨික අවි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කේත යනාදී අතිශය රහසිගත තොරතුරු ඔලන්ද් විසින් මැක්‍රොන් වෙත ලබා දෙන ලදී.

ජනාධිපති ලෙස ඔහුගේ පළමු කතාවේදී මැක්‍රොන් ප්‍රකාශ කළේ විශ්වාසය බිඳුණ ප්‍රංශ ජනතාව තුල බලාපොරොත්තුව සහ විශ්වාසය ගොඩනැගීමට තමන් කටයුතු කරන බවය.

එමෙන්ම තම පාලන සමය තුළදී යුරෝපා සංගමය ප්‍රතිසංස්කරණය කර නැවත නගා සිටුවන බව මැක්‍රොන් කියා සිටියේය.

ඔහු හෙට (15) සිය අගමැති නම් කරනු ඇත. මැයි 16 වනදා ජර්මනියට සංචාරය කරන මැක්‍රොන් එරට චාන්සලර් ඇන් ගෙලා මර්කල් මුණගැසෙනු ඇත.

39 හැවිරිදි මැක්‍රොන් ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම ජනාධිපතිවරයා ය.

Related posts

Leave a Reply