December 11, 2017

චර්නොබිල් න්‍යෂ්ඨික අනතුර​

චර්නොබිල් න්‍යෂ්ඨික අනතුර​

1986 වර්ෂයේ අප්‍රේල් මස 26 දා ලෝක ඉතිහාසයේ එක්‌ අඳුරු දිනයකි. ඒ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ එත් ප්‍රතික්‍රියාකාරකයක සිදු වූ අනතුරක්‌ හේතුවෙන් අධික විකිරණ ප්‍රමාණයක්‌ නිකුත් වීම නිසා ය. එවක පැවැති සෝවියට්‌ දේශයට (සෝවියට්‌ සමාජවාදී සමූහාණ්‌ඩු ජනරජය) අයත් වූ යුක්‌රේන සමූහාණ්‌ඩුවේ (වර්තමාන යුක්‌රේනයේ) උතුරු ප්‍රදේශයේ මේ බලාගාරය පිහිටා තිබිණි.

ලෝකයේ මෙතෙක්‌ ඇති වූ වඩාත් බරපතළ ම න්‍යෂ්ටික බලාගාර අනතුර සේ මේ අනතුර සැලකේ. න්‍යෂ්ටික අනතුරු සංසන්දනය කිරීම සඳහා සකස්‌ කර ඇති “ජාත්‍යන්තර න්‍යෂ්ටික සිදුවීම් පරිමාණයේ” (International Nuclear Event Scale) සඳහන් 7 වන මට්ටමේ සිදුවීම් වන්නේ 1986 චර්නොබිල් සහ 2011 ෆුකුෂිමා න්‍යෂ්ඨික අනතුරු පමණි. (මේ මට්‌ටම එහි වඩාත් බරපතළ ම මට්‌ටම – Major accident – වේ.) මේ අනතුරේ දී නිකුත් වූ විකිරණශීලී ද්‍රව්‍ය ලෝකයේ උතුරු අර්ධගෝලයේ රටවල් රැසක තැන්පත් විය. ඒ වන විට පැවැති කාලගුණික තත්ත්වය හා සුළං රටාව ද ඊට හේතු විය. ඒ නිසා දැඩි පාරිසරික හා සෞඛ්‍යමය බලපෑමක්‌ ඇති වූ අතර මේ නිසා එය ලෝකයේ එක්‌ බරපතළ පාරිසරික ඛේදවාචකයක් ලෙස සැලකේ.

මේ අනතුර නිසා මුල් දින කිහිපය තුළ 30 දෙනෙක්‌ මරණයට පත් වූ හ. ඒ වැඩි වශයෙන් බලාගාරයේ සේවකයන් හා ඇති වූ ගින්න නිවීම සඳහා පැමිණි පිරිස ය. එහෙත් මේ අනතුරේ දිගුකාලීන බලපෑම් නිසා මිය ගිය පිරිස පිළිබඳව නිශ්චිත අගයයක්‌ නොමැති බව පෙනේ. 2003 දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක්‌ මඟින් පිහිටුවන ලද “චර්නොබිල් සංසදයේ” වාර්තාවකට අනුව අනතුර නිසා ඇති වූ මරණ ගණන හාර දහසකට මඳක්‌ අධික ය. ඊට සෘජු මරණ 56ක්‌ හා පසුව ඇති විය හැකි මරණ 4,000ක්‌ පමණ අයත් ය. මේ ප්‍රමාණයේ උපරිමය 9,000ක්‌ පමණ වේ. එහෙත් විවිධ ආයතනවලින් මේ පිරිසේ ප්‍රමාණය වඩා ඉහළ බව වරින් වර පෙන්වා දී ඇත. ග්‍රීන්පීස්‌ සංවිධානය පවසන ආකාරයට චර්නොබිල් බලපෑමෙන් ඇති වූ මරණ ප්‍රමාණය 93,000ක්‌ පමණ විය හැකි ය. මීට වඩා ඉහළ ඇස්‌තමේන්තු ද තිබේ.

පුපුරා ගිය චර්නොබිල් ප්‍රතික්‍රියාකාරකය (Wikimedia Commons)
පුපුරා ගිය චර්නොබිල් ප්‍රතික්‍රියාකාරකය (Wikimedia Commons)

මේ අනතුරෙන් පසු කිලෝමීටර 30ක පමණ අරයකින් යුක්‌ත වෘත්තාකාර ප්‍රදේශයක්‌ “තහනම් කලාපයක්‌” (Exclusion zone) ලෙස නම් කර සීමා කර තිබේ. ඒ ප්‍රදේශයේ මානව කටයුතු සීමා කර ඇති අතර වාසය කිරීම, ව්‍යාපාර කිරීම තහනම් ය. මේ හා සමාන කලාපයක්‌ බෙලෝරුසියාවේ ද පවතී. මේ ප්‍රදේශය තවත් කලක්‌ යන තුරු සාමාන්‍ය කටයුතු සඳහා භාවිතයට නො ගෙන සීමා කිරීමට සිදු වී ඇත්තේ එහි ඇති විකිරණ බලපෑම් නිසා ය.

විකිරණවල බලපෑමට ලක්‌ වූ 200,000ක පමණ පිරිසක්‌ (ඇතැම් වාර්තාවලට අනුව 336,000ක්‌ පමණ) බලපෑමට හසු වූ ප්‍රදේශයෙන් ඉවත් කර කරන ලදි. මිලියන 6.7ක පමණ පිරිසක්‌ විවිධ රටවල මේ විකිරණවලට ලක්‌ වූ බව ගණනය කර තිබේ. මේ පිරිස්‌ තුළ ඇති දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් පිළිබඳව තවමත් කරුණු හදාරමින් තිබේ.

අනතුරෙන් පසුව ගෙවුණු දිනවල දී මේ ප්‍රතික්‍රියාකාරකය වසා කොන්ක්‍රීට්‌ ආවරණයක්‌ ඉදි කරන ලදි. එහෙත් එය පසුකලක දී දුර්වල වීමට පටන් ගත් බැවින් 2007 වර්ෂයේ දී මේ සංකීර්ණය යෝධ වානේ ආවරණයකින් වසා දැමීමට යුක්‌රේන රජය තීරණය කළේ ය.

තවමත් දැනෙන විකිරණ බලපෑම්

මේ වන විට චර්නොබිල් ඛේදවාචකයෙන් වසර 30 කට ආසන්න කාලයක්‌ ගත වී තිබේ. එහෙත් ඇති වූ බලපෑම්වල ප්‍රතිඵල තවත් කලක්‌ ගත වන තුරු දැක ගත හැකි බව විශ්වාස කෙරේ. චර්නොබිල් බලපෑම් අඩු තක්‌සේරුවකට ලක්‌ කර ඇති බව මෑත පළ වූ පර්යේෂණවලින් ඉඟි කර ඇත. විශේෂයෙන් පාරිසරික බලපෑම් ගැන සිදු කරන ලද අධ්‍යයන මේ අතර වඩාත් වැදගත් ය. කෙසේ වෙතත් ඇතැම් අංශ පිළිබඳව ඉදිරිපත් ව ඇති ඇතැම් කරුණු අවිනිශ්චිත බව පෙන්වා දී තිබේ. මේ එවැනි බලපෑම් පිළිබඳ කෙටි සටහනකි.

ජෛවවිවිධත්වය – වසර කිහිපයකට පෙර පළ වූ ඇතැම් වාර්තාවල චර්නොබිල් තහනම් කලාපය වනජීවීන්ට නිදහස්‌ ප්‍රදේශයක්‌ බවට පත් ව ඇති බවක්‌ පෙන්වා දී තිබිණි. ඒ මේ කලාපයේ මානව ක්‍රියාකාරකම් සීමා වී තිබූ නිසා ය. එහෙත් එය සත්‍යයක්‌ නො වන බවත් මේ කලාපයේ වනජීවීන්ට සැලකිය යුතු තරම් බලපෑමක්‌ ඇති වී ඇති බවත් මෑත දී පළ වූ පර්යේෂණ වාර්තා මඟින් අවධාරණය කර තිබිණි.

මේ ප්‍රදේශයේ වසන ජීවීන්ට ඇති වූ බලපෑම් කලින් සිතුවාට වඩා බරපතළ බව Biology Letters සඟරාවේ 2007 වර්ෂයේ දී පළ වූ ලිපියකින් පෙන්වා දී තිබිණි. පක්‌ෂි විශේෂ ඇසුරින් සිදු කරන ලද මේ අධ්‍යයනය අනුව විශේෂ සුලබතාව හා ගහන ඝනත්වය යන සාධකවල පැහැදිලි අඩු වීමක්‌ සිදු වී තිබේ. එසේ ම 2010 දී Ecological Indicators සඟරාවේ පළ වූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව චර්නොබිල් බලාගාරය අවට පිහිටා ඇති තහනම් කලාපයේ වන සත්ත්ව ගහනය අඩු වෙමින් පවතී. මේ අධ්‍යයනය මඟින් 2006-2009 අතර කාලය තුළ විවිධ සත්ත්ව කාණ්‌ඩ නවයක ජීවීන්ගේ සුලබතාව ගණනය කර ඇති අතර විකිරණ බලපෑමක්‌ නො තිබූ සමාන ප්‍රදේශයක දැකිය හැකි තත්ත්වය සමඟ සංසන්දනය කර ඇත. මෙහි දී හෙළි වූ පරිදි ඇතැම් ජීවීන්ට විකිරණශීලීතාව මඟින් සැලකිය යුතු බලපෑමක්‌ ඇති වී තිබෙන බවට සාධක ඇත. නිදසුනක්‌ ලෙස ඇතැම් පක්‌ෂීන් ගේ විවිධ ආබාධ දැකිය හැකි ය.

කෙසේ නමුත් මිනිස් ක්‍රියාකාරකම් අඩු බැවින් තහනම් කලාපය තුළ 2016 වනවිට සත්ත්ව ගහණය සැළකිය යුතු මට්ටමක විය.

රෝගාබාධ – චර්නොබිල් බලපෑම් නිසා ඇති වූ දිගුකාලීන රෝගාබාධ ගැන වරින් වර වාර්තා වේ. පිළිකා වැනි රෝග මේ අතර ප්‍රධාන ය. විකිරණ කාන්දුවීම්වලට ලක්‌ වූවන් අතර තයිරොයිඩ් පිළිකා, ලියුකීමියාව හා උපත් විකෘති තත්ත්ව චර්නොබිල් අනතුරෙන් පසුව සුලබ විය. විශේෂයෙන් යුක්‌රේනයේ හා බෙලෝරුසියාවේ පිළිකා හා ළමා මරණ වර්ධනය වී ඇති බව මේ වසර මුල දී වාර්තා විය. එක්‌ ඇමෙරිකානු අධ්‍යයනයකට අනුව උපත් විකෘති සුලබ විමට අඩු විකිරණ බලපෑම්වලට දිගු කලක්‌ තිස්‌සේ ලක්‌ වීම හේතු විය හැකි ය. ඒ අනුව තවත් කලක්‌ යන තුරු මේ බලපෑම් දැකිය හැකි වෙතැයි යන්න මේ පර්යේෂකයන් ගේ අදහසයි.

එසේ ම විකිරණවල බලපෑම්වලට ලක්‌ වූ වෙනත් යුරෝපීය රටවල ද මේ හා සම්බන්ධ රෝගාබාධ පිළිබඳ වාර්තා දැකිය හැකි ය. 2006 දී Nature සඟරාවේ ප්‍රකාශයට පත් පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී තිබුණේ චර්නොබිල් ඛේදවාචකයේ සෞඛ්‍යමය බලපෑමට ලක්‌ වූ පිරිස පිළිබඳව පැවසීමට තවමත් කල් වැඩි බව ය. ඉන් ඉඟි කර තිබුණේ එහි බලපෑම් තවත් කලක්‌ තිස්‌සේ දැකිය හැකි බව ය.

භෝග හා ගොවිබිම් – චර්නොබිල් අනතුරෙන් පසු රටවල් ගණනාවක විශාල වගාබිම් ප්‍රදේශයක්‌ විකිරණශීලී ද්‍රව්‍යවල බලපෑමට හසු වීම නිසා අත්හැර දැමීම හෝ වගා කටයුතු සීමා කිරීම හෝ සිදු විය.

විකිරණවල බලපෑමට ලක්‌ වූ යුරෝපා රටවල ගොවි බිම් විශාල ප්‍රමාණයක්‌ විකිරණ නිසා විෂසහිත වී ඇත. මේ නිසා ඇතැම් ප්‍රදේශවල වගා කිරීම් නවතා දමා ඇති අතර තවත් ගොවිබිම්වල නිපදවනු ලබන ආහාරමය නිෂ්පාදන විකිරණශීලීතාව සඳහා පරීක්‌ෂාවට ලක්‌ කිරීම සිදු වේ. එය ආරම්භ කරන ලද්දේ අනතුර සිදු වූ කාලයේ දී ය. මීට ශාක ආහාර වර්ග මෙන්ම සත්ත්ව ආහාර ද ඇතුළත් වේ. එවැනි ප්‍රදේශවල සිදු කරන පරීක්‌ෂාව වසර 2020 දක්‌වා දිගු කිරීමට 2009 වසරේ දී යුරෝපා කොමිසම තීරණය කළේ ය. ඒ එවැනි ප්‍රදේශවල නිපදවනු ලබන ආහාර ද්‍රව්‍යවල ඇතුළත් සීසියම් ප්‍රමාණය අවසර දී ඇති මට්‌ටම ඉක්‌මවා තිබූ නිසා ය.

මේ අතර විෂසහිත බිම්වල ආහාර භෝග වගා කළ නොහැකි බැවින් වෙනත් කටයුතු සඳහා යොදාගැනීම කෙරේ පසු කලක අවධානය යොමු විය. අනතුරේ බලපෑම් නිසා විෂ සහිත බවට පත් වූ විශාල ගොවිබිම් ප්‍රදේශයක්‌ ජෛව ඉන්ධන නිපදවීම සඳහා යොදාගැනීමට හැකි බව බෙලෝරුසියාව පසුගිය වසරේ තීරණය කළේ ය.

චර්නොබිල් පාඩම්

චර්නොබිල් අනතුරට හේතු වූයේ රුසියානු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල තිබූ දුර්වලකම් හා අනිසි ලෙස මෙහෙයවීම ය. යළිත් මෙවැනි අනතුරක්‌ සිදු වීම වළක්‌වා ගැනීම සඳහා න්‍යෂ්ටික බලය යොදා ගත යුතු ආකාරය ගැන ඇති වූ සාකච්ඡාවේ ප්‍රතිඵලය වූයේ තාක්‌ෂණයේ දියුණුවක්‌ ඇති වීම ය. එ සේ ම කල් ඉකුත් වීමත් සමඟ න්‍යෂ්ටික බලාගාර වසා දැමීම ද මේ වන විට ක්‍රමානුකූලව සිදු වේ.

කෙසේ වෙතත් න්‍යෂ්ටික බලාගාරවල තවත් අවදානමක්‌ ද ඇත. ඒවායේ නිපදවෙන අපද්‍රව්‍ය බැහැර කිරීම එක්‌ අවදානමකි. එය පාරිසරික වශයෙන් තර්ජනයක්‌ ඇති කළ හැකි අතර අන්තවාදීන් අතට පත් වීමේ අවදානමක්‌ ද නැතිවා නො වේ. ලෝකයේ ප්‍රකට පරිසර සංවිධාන හා සිවිල් සංවිධාන ගණනාවක්‌ න්‍යෂ්ටික බලාගාරවලට විරුද්ධ වීමට මෙය ද හේතුවකි. කෙසේ වෙතත් හරිතාගාර වායු විමෝචන නිකුත් නො කරන බැවින් හා විශාල බලශක්‌තියක්‌ සපයා ගත හැකි නිසා න්‍යෂ්ටික බලය ලෝක බලශක්‌ති ඉල්ලූම සඳහා යෝග්‍ය විසඳුමක්‌ ලෙස සැලකෙන බලශක්‌ති ප්‍රභවයකි.

(ධනේෂ් විසුම්පෙරුම විසින් විදුසර පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි)

Related posts

Leave a Reply