December 11, 2017

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ යුධ විරුවන් සමරන ඇන්සැක් දිනය​

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ යුධ විරුවන් සමරන ඇන්සැක් දිනය​

ඇන්සැක් දිනය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ විශේෂයෙන් සැමරෙන යුධ සැමරුම් දිනයකි. එය පළමු ලෝක යුධ සමයේදී තුර්කියේ ගැලිපොලි අර්ධද්වීපයට මිත්‍ර හමුදා ගොඩබැසීමේ සංවත්සරය සනිටුහන් කරයි.

ඇන්සැක් (ANZAC) යන වදනෙහි අර්ථය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා ඛණ්ඩ (Australia and New Zealand Army Corps) යන්නයි. ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා සහභාගී වූ පළමු අන්තර්ජාතික යුධ ගැටුම ලෙස ගැලිපොලි ව්‍යාපාරය සළකනු ලබයි. එමෙන්ම ගැලිපොලි ව්‍යාපාරයේදී ඔවුනගෙන් විශාල දායකත්වයක් ලැබුණි.

1914 දී බ්‍රිතාන්‍යය යුද්ධයට එළඹි විට පොදු රාජ්‍ය මණ්ඩල රටවල් වශයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද එරට පාර්ශවය ගත් හ. 1915 අප්‍රේල් 25 වනදා ඇන්සැක් භටයින් ප්‍රමුඛ මිත්‍ර හමුදා ගැලිපොලියට ගොඩ බැස්සේ එම අර්ධද්වීපය අල්ලාගෙන තුර්කියේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීම අරමුණු කරගෙන ය. නමුත් මෙම යුධ ව්‍යාපාරය අසාර්ථක වූ අතර 1916 ජනවාරි 8 වනවිට සියලු මිත්‍ර හමුදා ගැලිපොලියෙන් ඉවත් කරගන්නා ලදී.

අසාර්ථක ප්‍රයත්නයක් වුවද, ගැලිපොලි සටන ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ නොමැකෙන සටහනක් තැබීය.

පළමු වරට ඇන්සැක් දිනය සමරන ලද්දේ 1916 දී ය. ඔස්ට්‍රේලියාවේ මෙන්ම ලන්ඩනයේත්, ඊජිප්තුවට අනුයුක්ත කර සිටි ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා භටයින් අතර පළමු වරට ඇන්සැක් දිනය සැමරිණ.

1920 දශකයේදී මෙම දිනය පළමු ලෝක යුද්ධයේදී මිය ගිය සියලු ඇන්සැක් භටයින් සිහි කරන දිනයක් බවට පත් වූ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම යුද්ධයේදී මිය ගිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත සෙබලුන් සිහි කරන දිනයක් ලෙසත්, පසු කලෙකදී, සටන් බිමේ මිය ගිය සියලු ඔස්ට්‍රේලියානු, නවසීලන්ත භටයන් සිහි කරන දිනයක් ලෙසත් ඇන්සැක් දිනය යොදා ගන්නා ලදී.

ඡායාරූපය: ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඇන්සැක් යුධ ස්මාරකය (Digital Fuel, Wikimedia Commons)

Related posts

Leave a Reply