December 11, 2017

ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි ජනතාව​

ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි ජනතාව​

ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි (Coptic Christians) ජනතාව කොප්ට්වරුන් (Copts) යයි ද හඳුන්වනු ලබන අතර එරට මිලියන 95 ක් වන ජනගහනයෙන් සියයට 10 ක් පමණ පිරිසක් කොප්ට්වරු වෙති. එරට විශාලම සුලු ජාතික, සුලු ආගමික ප්‍රජාව වන්නේ කොප්ට්වරුන් ය.

වර්තමානයේ ජීවත්වන බොහෝ කොප්ට්වරුන් අරාබි සම්භවයකින් යුතු විය හැකි වුවද ඓතිහාසික වශයෙන් කොප්ට්වරුන් අරාබීන්ගෙන් පැවතෙන්නෝ නොවෙති. ඔවුන් ඊටත් එපිට ඈත කාලීන ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් පැවතෙන අවසාන පුරුක ලෙස සළකනු ලබයි. ඔවුනගේ ඇතැම් සිරිත් විරිත් ක්‍රිස්තියානි යුගයෙන් ද එපිට සිට පැවතෙන්නේ යයි විශ්වාස කරනු ලැබේ. ක්‍රි.ව. 7 වන සියවසේ දී ඉස්ලාම් ආගම පැතිරීමට පෙර ඊජිප්තුවේ විශාලම තනි ආගම කොප්ටික් ක්‍රිස්තියානි ආගම වූ බව සඳහන් වේ.

ඊජිප්තුවට භාවිතා කළ පැරණි ග්‍රීක වචනයකින් කොප්ට් යන වචනය බිඳී එයි.

අසල්වැසි ලිබියාවේ සහ සුඩානයේද සුලු කොප්ට්වරු පිරිසක් ජීවත් වෙති. ආගමික පීඩනය හේතුවෙන් සංක්‍රමණය වූ කොප්ට්වරුන් ඇතැම් බටහිර රටවලදී දැකිය හැක. ඔස්ට්‍රේලියාවේ කොප්ට්වරුන් 30,000 ක් පමණ ජීවත් වන බව ඒ.බී.සී. පුවත් සේවය 2017 අප්‍රේල් මාසයේදී සඳහන් කළේය.

කොප්ට්වරුන් අතීතයේ පටන් ම ආගමික පීඩනයට ලක් වූ අතර 1952 ඊජිප්තු විප්ලවයෙන් පසු එම තත්ත්වය තවත් නරක අතට හැරුණි. ඔවුනට පල්ලි ඉදි කිරීමට පවා අවසර ගැනීම ඉතා අසීරු ය.

කතෝලික පල්ලියේ මෙන්ම කොප්ටික් පල්ලියේ නායකයා ද පාප් වහන්සේ ලෙස හඳුන්වයි. 2012 නොවැම්බරයේ සිට කොප්ටික් පල්ලියේ පාප්වහන්සේ වන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ දෙවැනි ටවඩ්‍රොස් ය. ඔහු එම පල්ලියේ 118 වන පාප්වරයා ය.

කොප්ටික් පල්ලියේ මූලස්ථානය ඇලෙක්සැන්ඩ්‍රියාවේ සාන්ත මාර්ක් ආසන දෙව් මැදුර ය. එය ක්‍රි.ව. පළමු සියවස දී ඉදි කළ බව සැළකේ. 2017 අප්‍රේල් 9 වනදා එම පල්ලියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 17 දෙනෙක් මිය ගියහ. එදින ම ටන්ටා නගරයේ ද දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල විය.

ඡායාරූපය: කොප්ටික් අල්තාරයක් (Afanous, Wikimedia Commons)

About The Author

Related posts

Leave a Reply