January 17, 2018

බ්‍රිතාන්‍ය අගමැතිණිය මහ මැතිවරණයක් කැඳවයි

බ්‍රිතාන්‍ය අගමැතිණිය මහ මැතිවරණයක් කැඳවයි

2017 ජූනි 8 වනදා මහ මැතිවරණයක් කැඳවීමට බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ තීරණය කර තිබේ. ඇය මේ බව අද (2017 අප්‍රේල් 18) නිවේදනය කළාය.

මෙම මැතිවරණය කැඳවනු ලැබූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා ලිස්බන් ගිවිසුමේ 50 වන වගන්තිය ක්‍රියාවට නැගීමෙන් සති කිහිපයකට පසුවය. බ්‍රිතාන්‍යය 2017 මාර්තු 29 වනදා 50 වන වගන්තිය ක්‍රියාත්මක කළේය.

මෙම මැතිවරණය පවත්වන අවස්ථාවේ පාලක කන්සර්වේටිව් පක්ෂයට ඉතාම වාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය අභ්‍යන්තර අර්බුද හේතුවෙන් බෙදී පවතින අතර කොන්සර්වේටිව් පක්ෂයේ සහ අගමැතිණී තෙරේසා මේගේ ජනප්‍රියත්වය ඉහළ තත්ත්වයක පවතී.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර කරන ලද YouGov සමීක්ෂණයකින් මේ බව තහවුරු විය. එම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් කන්සර්වේටිව් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රතිචාරකයෝ සියයට 44 ක් ම සඳහන් කළහ. කම්කරු පක්ෂයට සියයට 23 ක් ද, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ට සියයට 12 ක් ද, එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂයට සියයට 10 ක් ද ඡන්දය දෙන බව ප්‍රකාශ කළහ.

මැතිවරණයට මුහුණ දීමට තමන් සූදානම් බව කම්කරු පක්ෂ නායක ජෙරමි කෝර්බින් ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ සුභසාධන කටයුතු කප්පාදු කරමින් කොන්සර්වේටිව් පක්ෂය ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමේ අවස්ථාව කම්කරු පක්ෂයට ලැබී ඇති බවය.

මේ අතර ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායිකා නිකොලා ස්ටර්ජන්, තෙරේසා මේගේ තීරණය විවේචනය කරමින් කියා සිටියේ කොන්සර්වේටිව් පාක්ෂිකයන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා ගැනීමටත් එයින් පසු ඔවුනට අවශ්‍ය පරිදි යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ එකඟතාවකට එළඹෙනු ඇති බවත් ය.

2015 පැවති මැතිවරණයේදී කන්සර්වේටිව් පක්ෂය ආසන 330 ක්, කම්කරු පක්ෂය ආසන 232 ක්, ස්කොට්ලන්ත ජාතිකවාදී පක්ෂය ආසන 56 ක්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 8 ක් ආදී වශයෙන් පාර්ලිමේන්තු ආසන දිනාගත්තෝය. එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ සමස්ථ ආසන සංඛ්‍යාව 650 කි.

Pic: The British Parliament and Big Ben (Maurice from Zoetermeer, Netherlands – Wikimedia Commons)

Related posts

Leave a Reply