December 11, 2017

හෙන්රි බෙකරල්

හෙන්රි බෙකරල්

අන්තොයින් – හෙන්රි බෙකරල් (1852 දෙසැම්බර් 15 – 1908 අගෝස්තු 25) ප්‍රංශ විද්‍යාඥයකු වූ අතර විකිරණශීලතාව සොයා ගැනීමේ ගෞරවය ඔහුට හිමි වේ. 1903 දී මාරි සහ පියරේ කියුරි යුවළ සමඟ ඔහු භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි කරගත්තේය.

විකිරණශීලතාව සඳහා වන SI ඒකකය බෙකරල් (Bq) යයි නම් කර තිබේ.

බෙකරල් උපන්නේ වත් පොහොසත්කමින් යුතු පවුලක ය. ඔහුගේ සීයා වූ අන්තොයින් – සීසාර් බෙකරල්, පියා වූ අලෙක්සැන්ද්‍ර – එඩ්මොන් බෙකරල් සහ පුතා වූ ශෝන් බෙකරල් ද විද්‍යාඥයෝ වූහ. හෙන්රි බෙකරල්, ඉකෝල් පොලිටෙක්නික් සහ ඉකෝල් ඩෙස් පොන්ට්ස් එට් ෂවුසී හි අධ්‍යාපනය ලැබීය.

1892 දී ඔහු ප්‍රංශයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ භෞතික විද්‍යා අංශ ප්‍රධානී බවට පත් වූයේය. ඔහුගේ පියා සහ සීයා ද එම තනතුර දැරූ අය වෙති.

බෙකරල් විකිරණශීලතාව සොයා ගත්තේ අහම්බෙනි. 1895 දී විල්හෙල්ම් රොන්ට්ජන් විසින් කිරණ සොයා ගැනීමෙන් පසු ඒ ආශ්‍රිතව විවිධ පර්යේෂණ සිදු කෙරිණ. ඇතැම් සංයෝගවලට කිරණ යොමු කළ විට ඒවායෙන් ආලෝකය නිකුත් කෙරෙන බව රොන්ජන් විසින් නිරීක් ෂණය කරන ලදී. බෙකරල් බලාපොරොත්තු වූයේ මෙහි ප්‍රතිවිරුද්ධ සංසිද්ධිය, එනම් ආලෝකය මගින් කිරණ නිකුත් වීම සිදු වන්නේද යන්න පරීක්ෂා කිරීමය.

සිය පරීක්ෂණය සඳහා යුරේනියම් ලවණයක් යොදාගත් ඔහු සැලසුම් කළේ ආලෝකය ඒ මත වැටීමට සළස්වා කිරණ පිට වන්නේදැයි පරික්ෂා කිරීමට ය. මේ සඳහා කලු කඩදාසියකින් වැසූ ඡායාරූප පටලයක් ඔහු යොදාගත්තේය. කඩදාසිය විනිවිද ගොස් ඡායාරූප පටලයේ සළකුණු තැබීමට කිරණවලට හැකියාව තිබුණ ද ආලෝකයට එය කිරීමට නොහැකි වීම මෙම තෝරාගැනීමට හේතු විය.

පරීක්ෂණය සඳහා බෙකරල් වෙන්කළ දිනය වැහිබර එකක් වූයෙන් ඔහු එම ලවණය සහ ඡායාරූප පටලය සිය ලාච්චුවට දමා වසා දැමීය. ඔහු එය විවෘත කළේ ඊළඟට පැහැබර දිනයක් වූ 1896 මාර්තු 1 වනදා ය. එහිදී ඔහු පුදුමයට පත් වූයේ ඡායාරූප පටලයෙහි වූ සළකුණු දැකීමෙනි.

මීළඟ සති කිහිපයේදී ඔහු විවිධ යුරේනියම් ලවණ යොදාගෙන පරීක්ෂණ කළ අතර ඒවායෙන් ද මෙම සංසිද්ධිය දකින්නට ලැබිණ. මේ අනුව මෙය ස්වයංසිද්ධව විකිරණ පිටවීමේ ක්‍රියාවලියක් බව ඔහු හඳුනාගත්තේය.

About The Author

Related posts

Leave a Reply