December 11, 2017

චාර්ල්ස් ඩිකන්ස්

චාර්ල්ස් ඩිකන්ස්

චාර්ල්ස් ඩිකන්ස් (1812 පෙබරවාරි 7 – 1870 ජූනි 9) වික්ටෝරියානු යුගයෙහි ජීවත් වූ ප්‍රකටම ඉංග්‍රීසි සාහිත්‍යධරයා ය. ඔහුගේ ජීවිත කාළය තුළදී ම ඩිකන්ස් ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් අතර බොහෝ විචාරකයෝ ඔහු අග්‍රගණ්‍ය සාහිත්‍යකරුවකු සේ සළකති.

ඩිකන්ස් උපන්නේ දකුණුදිග එංගලන්තයේ වරාය නගරයක් වූ පෝර්ට්ස්මත් හි ය. ඔහුගේ පාසැල් ගමන කඩාකප්පල් වූයේ ඔහුගේ පියා වූ ජෝන් ඩිකන්ස් ණය ගෙවාගත නොහැකිව සිරගත කළ විට ය. ඔහුගේ මව එලිසබත් නම් වූවාය. එම පවුලේ දරුවෝ අට දෙනෙකු වූහ.

චාර්ල්ස් ඩිකන්ස් කුඩා කළ පටන් කියවීමට රුචියක් දැක්වීය. එහෙයින්, පාසල් ගමන ඇණ හිටි පසු විවිධ රැකියාවල නිරත වූ ඔහු වයස පහළවේදී එලිස් සහ බ්ලැක්මෝර් නීතීඥ සමාගමේ කනිටු ලිපිකරුවකු ලෙස බැඳුණි. මේ අතර වයස අවුරුදු 20 දී පමණ ඔහු පුවත්පත් වාර්තාකරුවකු බවට පත් විය. පාර්ලිමේන්තු වාර්තාකරුවකු වූ ඔහු පසුව ‘මෝර්නිං ක්‍රොනිකල්’ පුවත්පතෙහි මැතිවරණ වාර්තාකරුවකු ලෙස රට පුරා සැරි සැරීය.

ඔහුගේ පළමු සාහිත්‍යමය කර්තව්‍යය ලෙස “ස්කෙචස් බයි බොස්” (Sketches by Boz) නම් කතා පෙළ සැළකිය හැක. නමුත් ඔහු ජනප්‍රිය වූයේ 1836 දී පළ වූ “ද පික්වික් පේපර්ස්” නම් කතා පෙළ සමඟය. නවකතා කොටස් වශයෙන් පුවත්පත්වල පළ කිරීමේ සිරිතෙහි මූලිකයකු ලෙස ඩිකන්ස් සැළකිය හැක.

ඩිකන්ස් 1836 – 39 සමයෙහි “බෙන්ට්ලිස් මිසෙලනි” (Bentley’s Miscellany) නම් සඟරාවේ කර්තෘවරයා විය. එකළ 1837 – 39 සමයෙහි මාසිකව ඔලිවර් ට්විස්ට් නවකතාව පළ විය. 1838 – 39 සමයෙහි නිකලස් නික්ලෙබිගේ ජීවිතය සහ වික්‍රම (The Life and Adventures of Nicholas Nickleby) යන නවකතාව ද කොටස් වශයෙන් පළ වූයේය.

ඩිකන්ස්ගේ “අ ක්‍රිස්මස් කැරොල්” (A Christmas Carol) 1843 දී පළ වූ අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් විය. 1859 දී පළවූ “අ ටේල් ඔෆ් ටූ සිටීස්” ඔහුගේ අතිශයින්ම ජනප්‍රිය ඓතිහාසික නවකතාව ය. එය ඩිකන්ස්ගේ වැඩියෙන්ම අලෙවි වූ නවකතාව වන අතර 19 වන සියවසේ නවකතා අතුරින් ලොව වැඩියෙන්ම අලෙවි වූ ඉංග්‍රීසි නවකතාව ද වේ.

ඩිකන්ස්ගේ අනෙකුත් ප්‍රකට නවකතා අතර “ඩේවිඩ් කොපර්ෆීල්ඩ්” (1849 මැයි – 1850 නොවැම්බර් අතර කොටස් වශයෙන් පළ විය) සහ “ග්‍රේට් එක්ස්පෙක්ටේශන්ස්” (1860 දෙසැ – 1861 අගෝස්තු අතර කොටස් වශයෙන් පළ විය) වෙති.

ඩිකන්ස් කිහිප විටකම ඇමරිකා එක්සත් ජනපදයට ද සංචාරය කළ අතර එහි ද ඔහුගේ ප්‍රසිද්ධිය ඉතා ඉහළ විය.

චාර්ල්ස් ඩිකන්ස් 1870 දී මිය යන විට “ද මිස්ට්‍රි ඔෆ් එඩ්වින් ඩෲඩ්” (The Mystery of Edwin Drood) නම් නිම නොකළ නවකතාවක් ඉතිරි කර ගියේය. එහි සිටින නෙවිල් සහ හෙලේනා ලෑන්ඩ්ලස් නම් අනාථ වූ නිවුන්නු ලංකාවෙන් පැමිණි අය වෙති.

About The Author

Related posts

Leave a Reply