December 11, 2017

දිමිත්‍රි මෙන්ඩලීෆ්

දිමිත්‍රි මෙන්ඩලීෆ්

දිමිත්‍රි මෙන්ඩලීෆ් (1834 පෙබරවාරි 8 – 1907 පෙබරවාරි 2) රුසියානු රසායන විද්‍යාඥයෙක් විය. ඔහු ආවර්තිතා නියමය හඳුන්වා දුන් අතර නූතන ආවර්තිතා වගුව ඔහුගේ නිර්මාණයකි. ආවර්තිතා වගුව ආශ්‍රයෙන් මූලද්‍රව්‍ය ඒවායේ ගුණ අනුව පෙළ ගැස්වූ මෙන්ඩලීෆ්, එතෙක් සොයාගෙන නොතිබූ ඇතැම් මූලද්‍රව්‍යවල ගුණ පුරෝකථනය කිරීමට ද සමත් විය.

මෙන්ඩලීෆ් උපන්නේ සයිබීරියාවේ ටොබොල්ස්ක් නගරයේ ය. දරුවන් දස දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටි පවුලක බාලයා වූ දිමිත්‍රිගේ පියා ගුරුවරයකු විය. නමුත් දිමිත්‍රි කුඩා කාළයේ ඔහුගේ පියා රෝගාතුර වූයෙන් ඔහුට රැකියාව අහිමි විය. පසුව ඔහු මිය ගියේ ය.

දිමිත්‍රිගේ මව ඔහුව මොස්කව් වෙත ගෙන ආවේ උසස් අධ්‍යාපනය ලබා දීමේ අදහසිනි. නමුත් එහි ඔහුට අවස්ථා නොලැබුන කළ ඔහු සාන්ත පීටර්ස්බර්ග් වෙත රැගන යාමට ඇය ක්‍රියා කළාය. එහිදී ඔහු සාන්ත පීටර්ස්බර්ග් රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුලු විය.

සිය උපාධිය අවසන් කළ දිමිත්‍රි අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ක්‍රිමියාවේ සිම්ෆෙරපෝල් වෙත ගොස් එහි ජිම්නේසියමක (පාසැලක) විද්‍යාව ඉගැන්වීය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරුණ පසු යළි සාන්ත පීටර්ස්බර්ග් වෙත ගියේය.

මෙන්ඩලීෆ් 1864 දී සාන්ත පීටර්ස්බර්ග් තාක්ෂණික ආයතනයේ සහ ඊළඟ වසරේදී සාන්ත පීටර්ස්බර්ග් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය ඇරඹීය.

සිය ජීවිත කාළය තුළ මෙන්ඩලීෆ්ට විවිධ සම්මාන ලැබුණි. බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමය ඔහුට 1882 දී ඩේවි පදක්කම පිරිනැමීය. 1905 දී ඔහුට එම සංගමය විසින් කොප්ලේ පදක්කම ද ප්‍රදානය කෙරිණ. එමෙන්ම රාජකීය සංගමයේ විදෙස් සාමාජිකයකු ලෙස ද ඔහු පිළිගන්නා ලදී.

මෙන්ඩලීෆ් මිය ගියේ 1907 පෙබරවාරි 2 වනදා ය. ඒ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙනි. ඔහුගේ නමින් සඳෙහි ආවාටයක් නම් කර ඇති අතර ආවර්තිතා වගුවේ 101 වන මූලද්‍රව්‍යය මෙන්ඩලීවියම් ලෙස ද නම් කර තිබේ.

ආවර්තිතාව

මූලද්‍රව්‍ය ඒවායේ ගුණ අනුව වර්ගීකරණය පිළිබඳ අදහස් 19 සියවස තුළ දී මතු වන්නට විය. විද්‍යාඥයින් විසින් අලුත් මූලද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ එවැන්නක අවශ්‍යතාව පැන නැගුනි. 1829 දී යොහාන් ඩෝබරයිනර් විසින් මූලද්‍රව්‍ය ත්‍රික හඳුන්වා දෙන ලදී. එහිදී පළමු සහ තෙවන මූලද්‍රව්‍යවල පරමාණුක ස්කන්ධවල අතරමැදි අගයක් දෙවැන්න විසින් ගන්නා බවත් එම මූලද්‍රව්‍යවල ගුණයන් හි සමානකම් පෙන්වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

1864 දී ඉංග්‍රීසි විද්‍යාඥ ජෝන් නිව්ලන්ඩ්ස් විසින් සිය අෂ්ඨක නීතිය හඳුන්වා දෙන ලදී. මූලද්‍රව්‍ය එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අනුව පෙළ ගැස්වූ විට සෑම අටකට වරක් ඒවායේ ගුණ අතර සමානකම් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

1869 දී මෙන්ඩලීෆ් විසින් පළ කරන ලද ආවර්තිතා වගුව කළින් විද්‍යාඥයන් විසින් පෙන්වා දුන් ක්‍රමවේදයන් වඩාත් දියුණු තත්ත්වයකට පත් කිරීමකි.

මූලද්‍රව්‍ය එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ පිළිවෙලට සකස් කළ විට ඒවායේ ගුණ ආවර්තිකව වෙනස්වන බව ඔහු පෙන්වා දුන්නේය. එම ගුණ ඇසුරින් මූලද්‍රව්‍ය සිය වගුවේ සිරස් අතට පිහිටි කාණ්ඩවලට ගොනු කිරීමට මෙන්ඩලීෆ් සමත් වූයේය.

මේ ආකාරයෙන් සකස් කළ වගුවේ තිරස් අතට වූ පේළි ආවර්ත ලෙස හඳුන්වන ලදී.

ඇතැම් ආවර්තවල හිඩැස් මතුවූ අතර ඒවා තවමත් සොයා නොගත් මූලද්‍රව්‍ය බව මෙන්ඩලීෆ් පුරෝකථනය කළේය. මේ ආකාරයෙන් ඔහු ස්කැන්ඩියම්, ගැලියම්, ජර්මේනියම් සහ ටෙක්නීෂියම් යන මූලද්‍රව්‍යවල ගුණ පුරෝකථනය කිරීමට සමත් වූයේය.

මෙසමයෙහිම ලෝතා මේයර් විසින් ද මූලද්‍රව්‍ය වර්ගීකරණයක් ඉදිරිපත් කළ නමුත් එයට වඩා මෙන්ඩලීෆ්ගේ වගුව පහසු ක්‍රමයක් විය.

නූතන ආවර්තිතා වගුව මෙන්ඩලීෆ්ගේ වගුවෙහි දියුණු කළ අවස්ථාවකි.

About The Author

Related posts

Leave a Reply