December 11, 2017

සෝවියට් උපහාස කතා – ලෙනින් පෝලන්තයේදී

සෝවියට් උපහාස කතා – ලෙනින් පෝලන්තයේදී

රුසියානු ජනතාව ඉතිහාසය මුලුල්ලේම පාහේ විවිධ ඒකාධිපති පාලනයන් යටතේ ජීවත් වූවද, දේශපාලනික වශයෙන් ඔවුන් ඉතාම සවිඥානික වූහ. එය පැහැදිලිව පෙනෙන එක් ආකාරයක් වන්නේ දේශපාලන උපහාස කතා ය.

පහත දැක්වෙන්නේ සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලැඩිමීර් ඉලීච් ලෙනින් පිළිබඳ සෑදුණ කතා දෙකකි. මේවායේ නිර්මාපකයන් කවුදැයි හරියට නොදන්නා අතර, සුලු සුලු වෙනස්කම් සහිතව මේවා අසන්නට ලැබිය හැක.

1. ලෙනින් සීයා

නාගරික පෙර පාසලක ළමෝ පිරිසක් ගම්බද අධ්‍යාපන චාරිකාවකට ගිය හ. එහිදී ඔවුනට හා පැටවකු දකින්නට ලැබිණ.

“ළමයි දන්නවද අර මොකාද කියලා?” ගුරුතුමිය අසා සිටියා ය.

ළමයින් හොඳින් ඌ දෙස බැලූහ. එහෙත් ඌ අඳුනා ගැනීමට එක් ළමයකු හෝ සමත් වූයේ නැත.

“අයියෝ ළමයි. මෙයා ගැන ඔයාලා හැම වෙලේම අහනවා නෙ. ඔයාලා මොන්ටිසෝරියෙදි අහන සින්දු, කවි, කතාවල මෙයා නිතර ඉන්නවා නෙ” ගුරුතුමිය මදක් නොසතුටෙන් මෙන් කීවාය.

එවිට එක් ළමයකු විශේෂයෙන් හා පැටවා දෙස බලා සිටියේය.

“එහෙනම් මේ තමයි අපේ ලෙනින් සීයා” ඔහු බොහොම ගෞරවයෙන් කීවේය.

2. ලෙනින් පෝලන්තයේ

1964 – 82 සමයේ සෝවියට් නායකයා වූ ලියොනිඩ් බ්‍රෙෂ්නෙෆ් පෝලන්තයේ සංචාරයක් සඳහා සූදානම් විය. පෝලන්තයේ සහෝදරවරුන්ට ත්‍යාගයක් ප්‍රදානය කිරීම සඳහා අදහසක් ඔහුට පහළ විය. ඔහු ක්‍රෙම්ලීනයේ චිත්‍ර ශිල්පියා කැඳවීය.

“මට පෝලන්තයට යන්න තියෙනවා සහෝදරයා. එහෙ ඉන්න අපේ සහෝදරවරුන්ට දෙන්න තෑග්ගක් අවශ්‍යයි. ඔබ මට ‘ලෙනින් පෝලන්තයේදී’ කියල චිත්‍රයක් ඇඳ දෙන්න.”

“බ්‍රෙෂ්නෙෆ් සහෝදරයා, මට ඡායාරූප හරි මොනව හරි තියෙනවද පාවිච්චි කරන්න? මොකද ලෙනින් පෝලන්තෙ ගියපු අවස්ථාවක් මම දන්නෙ නෑ. ඇත්තටම ලෙනින් පෝලන්තෙ ගිහින් තියෙනවද?”

“පින්තූර අවශ්‍ය නෑ, සහෝදරයා හැකියාවක් තියෙන කෙනෙක් නෙ. මොකක් හෝ හිතල අඳින්න.”

ටික දිනකින් චිත්‍රය අවසන් විය. එය නිරාවරණය කරන අවස්ථාවට බ්‍රෙෂ්නෙෆ් පැමිණියේය. චිත්‍රය වසා තිබූ රෙදිකඩ ඉවත් කළ විට ඔහු තුෂ්නිම්භූත විය.

“මේ මොකක්ද මනුස්සයො මේ?”

චිත්‍රයේ වූයේ ලෙනින්ගේ බිරිඳ නඩේස්ඩා සහ ලියොන් ට්‍රොට්ස්කි නිදි යහනක සිටින දර්ශනයකි. (ට්‍රොට්ස්කි, සෝවියට් පාලනය විසින් සිය සතුරකු සේ සැලකූවෙකි)

“සහෝදරයා මට අඳින්න කීවෙ. ඉතින් මම අදහසක් හිතල ඇන්ඳා”

“කෝ මනුස්සයො මේකෙ ලෙනින්?”

“ඇයි සහෝදරයා, ඔහු පෝලන්තෙ නෙ!”

About The Author

Related posts

Leave a Reply