December 11, 2017

ත්‍රි ගෝර්ජස් වේල්ල (Three Gorges Dam)

ත්‍රි ගෝර්ජස් වේල්ල (Three Gorges Dam)

තිලිණ එල්. දිසානායක විසිනි

චීනයේ යැංසි නදිය හරස් කරමින් ඉදිවි තිබෙන ත්‍රි ගෝර්ජස් වේල්ල මිහිමත ඉදිවු විශාලතම කොන්ක්‍රිට් නිර්මාණයයි. මෙහි විශාලත්වය කොපමණද යත් කි.මි. 2ක දිගකින් යුක්තයි; තට්ටු හැටක පමණ උසක් තිබේ. කම්කරුවන් 40,000ක් වසර 17 පුරා මේ ඉදිකිරිම සදහා දායක වී තිබෙන අතර 20,000 MW විදුලියක් නිපදවිමේ හැකියාව මෙම බලාගාරයට ඇත.

මෙම බලාගාරයේ විදුලිය උත්පාදනය කිරිම සදහා කොටස් තුනකට බෙදා තිබේ. ටර්බයින 32 ක් මගින් විදුලිය උත්පාදනය කෙරෙන අතර මේ එක් ටර්බයිනයක මිල ආසන්න වශයෙන් $ මිලියන 50 ක් වේ. එයම මෙම ව්‍යාපෘතියේ වටිනාකම පිළිබඳ මිම්මකි. යැංසි නදියේ ජලය කොන්ක්‍රිට් ටියුබ් හරහා ගෙනයමින් ටර්බයින වෙත යොමු කෙරේ. විද්‍යුත් චුම්භක උත්ප්‍රේරණය මගින් මෙහිදි නිපදවන විදුලිය කොතෙක් ද යත් චීනයේ කෝටි 6 ක පමණ ජනතාවකට මෙහි විදුලිය සෑහේ.

ඉංජීනේරුවන් මුහුනදුන් ප්‍රධානතම අභියෝගය වූයේ ඇත්තේ යැංසි නදිය මෙම ඉදිකිරිම සදහා තාවකාලිකව නතර කරගන්නේ කෙසේද යන කාරණයයි. වේල්ල පිටුපස ජලය එකතු වු පසු අක්කර 150,000 යටවී යනු ඇති බවට ඔවුහු අනුමාන කළ හ. ඒ අනුව ලක්ෂ 10ක් පමණ ජනතාව වෙනත් භූමියක් වෙත ගෙනයෑමට සිදු විය. ස්ටොන් කොෆර් ඩැම් (තාවකාලික වෙල්ලක්) ඉදිකිරිමෙන් කොටසින් කොටස් ජලය ඉවත් කරමින් වේල්ලේ මුල් කොටස් දෙක නිමවා පසුව ඉතිරි කොටසට පස් පිරවිමෙන් අනතුරුව කොන්ක්‍රිට් කොෆර් ඩැම් එකක් ඉදිකිරිම තුලින් අවසන් කොටසේ ඉදිකිරිම අවසන් කරන ලදී. 2006 වසරේදී ටොන් 109 ක ඩයිනමයිට් පිරවිමෙන් අනතුරුව මෙම කොන්ක්‍රිට් තාවකාලික වේල්ල පුපුරවා හරිනු ලැබීය.

දෙවනුව ඉංජිනේරුවරුන් කොන්ක්‍රිට් භාවිතය පිළිබද සැලකිලිමත් වීමට සිදු විය. එයට හේතු වී තිබෙන්නේ කොන්ක්‍රිට් තුල තාපදායක ප්‍රතික්‍රියාවක් සිදුවෙමින් උශ්ණත්වය ඉහල යාමයි. මෙමගින් වේල්ල පුපුරා යාමට ඉඩක් තිබිණ. කොන්ක්‍රිට් ටොන් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් ගෝජස් වේල්ලට යොදාගැනිමට නියමිතව තිබු නිසා ඉංජිනේරුවන්ට මේ සදහා ක්‍රියාවලියක් නිර්මාණය කරන්නට සිදු විණ. අමුද්‍රව්‍ය සීතල කිරිමට අමතරව සීතල ජල ප්‍රවාහ කොන්ක්‍රිට් කෙ‍රෙන ප්‍රදේශය තුල නිර්මාණය කරන්නට සිදු විය. මීට අමතරව පොලව ශක්තිමත් කිරීම සදහා පොලව තුලට අධි පීඩන පොම්ප මගින් ඝන මිටර් 200,000 ක ග්‍රවුට් (සිමෙන්ති මිශ්‍රණ) විදිමට ද කටයුතු කරන ලදී.

ඕනෑම වේල්ලක සිදු වියහැකි දෙයක් නම් පහලට ගලා යන ජලය මගින් පාදම ඛාදනයට ලක්වීමයි. මෙය වැලැක්විම සදහා වාන් දොරටු 46 ක් මගින් ජලය පහලට ගෙනවුත් මීටර 100 ක් ඈතට විදීමට මෙම ව්‍යාපෘතියෙදී කටයුතු කරන ලදී. කුඩා ජල බිදු බවට පත්වන ජල ප්‍රවාහයට කල හැකි කාර්‍යය ප්‍රමාණය ඒ අනුව අඩු වේ.

මිලගට ඉංජිනේරුවන්ගේ ඉදිකිරිම් කටයුත්ත වුවේ යැංසි නදියේ දිනකට ගමන් කරමින් තිබු විශාල නැව් 170ක් පමණ වේල්ලේ අනික් පසට යොමු කරවන මාර්ගය තැනිමයි. මෙහිදි නැව් ගමනාගමනය සදහා වන ලොව විශාලතම ඇළ දොර නිර්මාණය කරන්නට ඉංජිනේරුවන්ට සිදුව තිබේ. නැව් එසවීමට කොන්ක්‍රිට් කුට්ටි වලින් භාරය කරන ලද එලිවෙටර් ක්‍රමයක් යොදාගෙන තිබේ.

ප්‍රධාන ඡායාරූපය:  Christoph Filnkößl (Wikimedia Commons)

Related posts

Leave a Reply