December 11, 2017

මිහායිල් ලර්මන්තොෆ්

මිහායිල් ලර්මන්තොෆ්

මිහායිල් ලර්මන්තොෆ් (1814 ඔක්තෝබර් 15 – 1841 ජූලි 27) 19 වන සියවසෙහි මුල් කාළයේ ජීවත් වූ ප්‍රකටම රුසියානු සාහිත්‍යධරයකු විය. මොස්කව් නුවරදී උපන් ඔහුගේ පියා වත් පොහොසත්කමක් නොමැති වූ හමුදා නිලධාරියකු වූ අතර ඔහුගේ මව කුලීන පවුලක කාන්තාවක වූවාය. මවගේ පාර්ශවයෙන් ලර්මන්තොව්ගේ මිත්තණිය ස්ටොලිපින් පරපුරේ අයෙක් වූවාය. එහෙයින්, පසු කළෙක සාර්වාදී රුසියාවේ අගමැති පුටුවට පැමිණියකුගේ පවුලට ලර්මන්තොෆ් ද අයත් විය.

පියාගේ සහ මවගේ පවුල්වල වූ මෙම නොපෑහෙන ගුණය ලර්මන්තොෆ්ගේ ළමා වියට බලපෑවේය. වයස අවුරුදු 3 දී ඔහුගේ මව මිය ගිය අතර ලර්මන්තොෆ්ගේ මිත්තණිය ඔහුගේ භාරකාරයා බවට පත් විය. දරුවාගේ අයිතිය ඉල්ලා සිටියහොත් බිරිඳගේ පාර්ශවයෙන් ඔහුට ලැබෙන දේපළ කිසිවක් ලබා නොදෙන බව ඇය ලර්මන්තොෆ්ගේ පියාට තර්ජනය කළාය. 1831 දී ඔහු මිය ගියේ තම අවාසනාව පිළිබඳ දැඩි සිත් තැවුලෙනි.

ලර්මන්තොෆ් කුඩා කළ හැදී වැඩුණේ සෙරෙද්නිකෝවෝ වතු යායේ ය. එය පසු කළෙක පියතෝර් ස්ටොලිපින් ද හැදුණ වැඩුණ නිවස විය. ලර්මන්තොෆ්ට නිවසේදී ම අධ්‍යාපනය ලබා දෙන ලදී. ඔහුට ප්‍රංශ සහ ජර්මන් බස හැසිරවීමට ද සංගීත භාණ් ඩ කිහිපයක් වාදනය කිරීමට ද හැකි වූ අතර චිත්‍ර ශිල්පියකු ලෙස ද දස්කම් පෙන්වීය.

නමුත් ලර්මන්තොෆ්ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවී ය. එහෙයින් ඔහුගේ මිත්තණිය විසින් ඔහු කොකේසස් කඳුකරය වෙත රැගෙන යන ලදී. ලර්මන්තොෆ් කොකේසස් කඳුකරයේ සුන් දරත්වයෙන් මත් වූයේය. මෙම කඳුකරය ඔහුගේ ජීවිතය සහ නිර්මාණ කෙරෙහි තදින් බැඳී තිබේ.

වැඩිදුර අධ්‍යයනය කටයුතු සඳහා මොස්කව් සරසවියට ඇතුලු වුවද ලර්මන්තොෆ් ඉගෙනීම කෙරෙහි විශාල අවධානයක් යොමු නොකළේ ය. ඉන්පසු අශ්වාරෝහක පාසලට ඇතුලු වීම සඳහා සාන්ත පීටර්ස්බර්ග් නගරයට ගිය නමුත් හමුදා දිවිය ද ඔහුට එතරම් හිත් ගත්තේ නැත. කෙසේ වෙනත් අසරු නිලදරුවකු ලෙස සුදුසුකම් ලද ඔහු සාන්ත පීටර්ස්බර්ග් හි ඉහළ පැළැන්තියේ සමාජය හා මුසු වන්නට විය. ඔහු එම සමාජය විසින් ඇගැයීමට ලක් වන ආකාරයේ කවි ලියන්නට වූයේය.

මේ සියල්ල 1837 දී උඩු යටිකුරු වූයේය.

එම වසරේ පෙබරවාරි 10 වනදා (පැරණි දින දර්ශනයට අනුව ජනවාරි 29) මහාකවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ද්වන් ද්ව සටනකින් පසු මිය ගියේය. මෙම සිදුවීම ලර්මන්තොෆ්ගේ සිත පෑරුවේය. ඔහු සිය අදහස් කැටි කොට “කවියකුගේ මරණය” නම් ආන් දෝලනාත්මක කවි පන්තිය ලිවීය. එයින් ඔහු සිය උදහස පෑවේ රුසියාවේ ඉහළ පැළැන්තියට ය.

ඉහළ පැළැන්තියේ රුසියානොවෝ මෙම කවිය කෙරෙහි උදහස් වූහ. රුසියාවේ සාර් අධිරාජයාට පවා ඔවුහු ගතු කීහ. ලර්මන්තොෆ් අත් අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබීය. කෙසේ නමුත් ඔහුව පිටුවහල් කෙරුණේ ඔහු සිත්ගත් කොකේසස් කඳුකරයටම ය. ඔහු කොකේසස් කඳුකරයේ ඇවිදිමින් ස්වදේශීය ජනවර්ගවල භාෂා සහ පුරාවෘත්ත ඉගෙනගනිමින් කල් ගෙව්වේය. එමෙන්ම ඔහු කොකේසස් කඳුකරය තේමා වූ චිත්‍ර ද ගණනාවක් ඇන්ඳේය.

ලර්මන්තොව් ඇඳි චිත්‍රයක්
ලර්මන්තොව් ඇඳි චිත්‍රයක්

මෙම අවස්ථාවේ ඔහුගේ මිත්තණිය මැදිහත් ව ලර්මන්තොෆ්ට යළි සාන්ත පීටර්ස්බර්ගය වෙත පැමිණීමට අවසර දිනා ගැනීමට සමත් වූවාය. යළි නාගරික දිවියට පැමිණි ඔහු නිර්මාණකරණයේ යෙදෙමින් නැවත නමක් දිනා ගත්තේය. ඔහු මෙකළ ලියූ “අපේ කාලයේ වීරයෙක්” නවකතාව ඔහුගේ එකම නවකතාව වුවද රුසියානු ගද්‍ය සාහිත්‍යයේ මූලාරම් භකයකු ලෙස නමක් දිනා ගැනීමට ඔහුට ඒ එකම එක නවකතාව සෑහිණ. හොඳ සහ නරක සම්මිශ්‍රණයක් වූ මෙහි කතානායකයාගේ නම පෙචෝරින් ය. එමෙන්ම මෙම නවකතාවට ලර්මන්තොෆ් සිය සැබෑ දිවියෙන් ද කරුණු බොහොමයක් ගත් අතර එය අර්ධ – ස්වයං චරිතාපදානයක් ලෙස ද සළකනු ලැබේ.

මෙම නවකතාව මනෝවිද්‍යාත්මක යථාර්ථවාදය සඳහා හොඳම උදාහරණයක් ලෙස සළකනු ලැබේ. මෙම පොත පළ කෙරුණේ 1840 දී ය.

මෙම පොත ප්‍රකාශයට පත්ව ටික කලකින් ඔහු එක්තරා කාන්තාවක අරභයා ප්‍රංශ තානාපතිගේ පුත්‍රයා හා ගැටුණේය. ද්වන්ද්ව සටනක් ද සිදු වූ අතර ඉනික්බිති ඔහු නැවතත් කොකේසස්වලට පිටුවහල් කෙරුණි. ඔහුට හමුදා නිලදරුවකු ලෙස කොකේසස් හි ගෝත්‍රික කණ්ඩායම් හා සටන් කිරීමට ද සිදු විය.

නමුත් ලර්මන්තොෆ් සිහින දුටුවේ හමුදාවෙන විශ්‍රාම ගෙන දිගටම ලේඛන කලාවේ නිරත වීමට ය. ඔහු දෙවැනි නිකුලස් සාර් රජුගෙන් ඉල්ලීමක් කරමින් හමුදා සේවයෙන් ඉවත් වීමට අවසර පැතීය. එම අවසරය ඔහුට නොදුන්නා සේම ඔහුට ලැබිය යුතු වූ නිර්භීතත්වය සඳහා වන පදක්කම් ද නොලැබිණ.

1841 මැයි මාසයේදී ඔහු කොකේසස් කඳු පාමුළ ප්‍යාටිගෝර්ස්ක් නගරයට ආවේ ය. එහිදී ඔහු නිකොලායි මාර්ටිනොෆ් නම් පැරණි මිතුරකු හමු විය. ඔහුද හමුදා නිලධාරියකු වූ අතර ලර්මන්තොෆ්ගේ විහිලු තහලුවලට නිතර ලක් වීමට ඔහුට සිදු විය. ජූලි මාසයේ එක් දිනෙක කළ මෙවන් විහිලුවක් දුරදිග ගොස් මාර්ටිනොෆ්, ලර්මන්තොෆ්ට ද්වන්ද්ව සටනකට අභියෝග කළේය.

ජූලි 27 වනදා, නගරය අසළ මෂුක් කන්ද පාමුල මෙම ද්වන්ද්ව සටන සිදු විය. භාවිතා කළ යුතු අවිය වූයේ පිස්තෝලයයි. තමන්ට කිසිදු ලෙසකින් මාර්ටිනොෆ්ට වෙඩි තැබිය නොහැකි බව ලර්මන්තොෆ් සඳහන් කළ බැව් වාර්තා වේ. මාර්ටිනොෆ්ට එවන් ගැටලුවක් නොවීය. ඔහු ලර්මන්තොෆ්ගේ හදවතටම ඉලක්ක කර වෙඩි තැබූ අතර ලර්මන්තොෆ් එතැනම මරුමුවට පත් වූයේය.

ප්‍රධාන ඡායාරූපය: ලර්මන්තොෆ් 1837 දී (පෙත්‍ර සබොලොට්ස්කි විසින් අඳින ලද්දකි)

About The Author

Related posts

Leave a Reply