December 11, 2017

1966 පාපන්දු ලෝක කුසලානයේ පෙරළිකාර උතුරු කොරියාව​

1966 පාපන්දු ලෝක කුසලානයේ පෙරළිකාර උතුරු කොරියාව​

උතුරු කොරියාව පළමු වරට පාපන්දු ලෝක කුසලානයට තේරී පත් වූයේ 1966 වසරේ එංගලන්තයේ පැවති තරඟාවලියට ය. ආසියාකරයෙන් පැමිණි ඔවුන් එම තරඟාවලියේ සහභාගීත්වයට වඩා වැඩි යමක් කරනු ඇතැයි බොහෝ දෙනා සිතුවේ නැත.

තරඟාවලිය අවසානයේ ඔවුන් එංගලන්තයෙන් පිටව ගියේ අදටත් කතාබහ කෙරෙන වික්‍රමයන් දැක්වීමෙන් අනතුරුව ය. ඔවුන් පාපන්දු ලෝකයේ එක් දැවැන්තයකු බිම දැමූ අතර තවත් ප්‍රබලයකු ඔවුනගෙන් ගැලවුණේ යන්තමිනි.

1966 වනවිට ලෝක කුසලාන පාපන්දු අවසන් තරඟාවලියට සුදුසුකම් ලද්දේ රටවල් 16 ක් පමණි. ඉන් අප්‍රිකා – ආසියා කලාපයටම හිමි වූයේ එක් ස්ථානයක් පමණි. මෙම අඩු සැළකිල්ලට එරෙහිව කලාපයේ රටවල් රැසක් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය වර්ජනය කළහ. එහෙයින් උතුරු කොරියාව පහසුවෙන් සුදුසුකම් ලැබීමේ වටයෙන් එගොඩ විය.

තානාපති ගැටලුව

1966 ලෝක කුසලානය පැවැත්වුනේ එංගලන්තයේ ය. එය එක්සත් රාජධානියේ කොටසකි. එක්සත් රාජධානිය එවකට උතුරු කොරියාව නොහොත් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නිල වශයෙන් පිළිගත්තේ නැත. එහෙයින් එංගලන්තයට වීසා පහසුකම් ලබා ගැනීමේ ගැටලුවකට උතුරු කොරියානුවෝ මුහුණ දුන් හ. එක්සත් රාජධානියේ විදේශ අමාත්‍යාංශය ඔවුනට විශේෂ අවසරයක් ප්‍රදානය කිරීමට කැතැත්ත දුන්නේ උතුරු කොරියානුවන් සහභාගී වන තරඟවලදී එරට ජාතික ගීය වාදනය නොකරන කොන් දේසිය පිටය. එමෙන්ම තරඟාවලිය සඳහා වූ සමරු මුද්දරය යළි සකසන්නට සිදු වූයේ උතුරු කොරියානු ධජය එහි දැක්වීම පිළිබඳ විදේශ අමාත්‍යාංශය විරුද්ධ වූ හෙයිනි.

මූලික කාණ්ඩයේ තරඟ

උතුරු කොරියානු පිළ සිය මූලික කාණ්ඩයේ තරඟ සඳහා සහභාගී වූයේ ඊසානදිග එංගලන්තයේ මිඩ්ල්ස්බරෝ හි අයර්සම් පාර්ක් ක්‍රීඩාංගනයේ ය. පුදුමයකට මෙන් මිඩ්ල්ස්බරෝ ප්‍රදේශ වැසියන් එම කණ් ඩායමට විශාල සහයක් දැක්වීය.

උතුරු කොරියානුවන් සහභාගී වූ පළමු තරඟයේදී සෝවියට් දේශය විසින් ඔවුන් 3-0 ක් ලෙස පරාජය කරන ලදී. දෙවැනියට පැවති චිලී රට සමඟ වූ තරඟය ද පරාජය වීමට ඔන්න මෙන්න තිබියදී පක් සෙඋන්ග් – සින් විසින් 88 වන විනාඩියේදී ලබාගත් ගෝලයෙන් ලකුණු සම විය.

මීළඟ තරඟය පැවතියේ ඉතාලිය සමඟය.

මිඩ්ල්ස්බරෝ ජනතාවගේ නොමඳ සහය ද සමඟ උතුරු කොරියානුවන් මෙම තරඟයට මුහුණ දුන්නේ 1966 ජූලි 19 වනදා ය. මීළඟ වටයට සුදුසුකම් ලැබීමට නම් ඉතාලියට අවශ්‍ය වූයේ තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම පමණි. කිසිවකුත් ඔවුන් පරාජය වෙතැයි සිතුවේ නැත. කෙසේ නමුත් තරඟයේ 42 වන මිනිත්තුවේදී පක් ඩූ – ඉක් විසින් ඓතිහාසික ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායම ඉදිරියට ගෙනාවේය. කෙතරම් උත්සාහ කළ ද ඉතාලියට ගෝල වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නැත.

ඉතාලි පාපන්දු ඉතිහාසයේ එරට ජාතික කණ්ඩායම ලද අපකීර්තිමත්ම පරාජය ලෙස අදටද මෙම පරාජය සළකනු ලැබේ.

පෘතුගාලය සමඟ තරඟය

උතුරු කොරියාව අර්ධ අවසන් පූර්ව තරඟයක් සඳහා තේරී පත්විම පිළිබඳ උද්දාමයට පත් එක් පිරිසක් වූයේ මිඩ්ල්ස්බරෝ හි ඔවුනගේ ආධාරකරුවන් ය. මින් 3000 ක පිරිසක් ලිවර්පූල් හි පැවති තරඟය නැරඹීමට ගිය හ. එහිදී උතුරු කොරියානුවන්ට මුණ ගැසුණේ තවත් පෙරළිකාර කණ්ඩායමකි.

පෘතුගාලය ද 1966 දී සහභාගී වූයේ සිය පළමු ලෝක කුසලාන අවසන් තරඟාවලියට ය. කෙසේ නමුත් පාපන් දු ක්‍රීඩාවේදී උතුරු කොරියාවට වඩා ප්‍රබල රටක් ලෙස එම රට අවිවාදයෙන්ම සැළකිණ. නමුත් උතුරු කොරියානුවන් ඒ බව ගණනකට නොගත් බව පෙණින. තරඟයේ 25 වන විනාඩිය වෙද්දී ඔවුහු 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටියෝය.

කෙසේ නමුත් එම වාසිය උපයෝගී කරගෙන ආරක්ෂිතව ක්‍රීඩා කළේ නම් ඇතැම්විට පෘතුගාලය පරාජය කිරීමට ඔවුනට ඉඩ ලැබෙන්නට තිබුණි. නමුත් උතුරු කොරියානුවෝ දිගටම ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්වූහ. එහිදී ඔවුනගේ පසුපෙළ දුර්වල විය. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සමතෙකු ප්‍රතිවාදී පිළෙහි විය. ඒ, පෘතුගීසි ගිණිකොණදිග අප්‍රිකාවේ නොහොත් වත්මන් මොසැම් බික් දේශයේ උපන් එයුසෙබියෝ ය. ඔහු ගෝල හතරක් ලබා ගනිද්දී පෘතුගාලය 5-3 ලෙස තරඟය ජය ගත්තේය.

ජීවිතයේ හොඳම තරඟය

පෙරළිකාර උතුරු කොරියානු පිළ ආපසු සිය රට බලා ගිය පසු සිදුවූයේ කුමක්ද යන්න බොහෝ කල් අභිරහසක්ව පැවතිණ. මෙම තත්ත්වය වෙනස් වූයේ 2000 දශකයේ මුල් කාළයේදී බීබීසී මාධ්‍යවේදී කණ්ඩායමක් උතුරු කොරියාවට ගොස් එම කණ්ඩායමේ එවක ජීවත්ව හුන් සාමාජිකයන් සත් දෙනෙකු හමුවීමත් සමඟය. ඔවුන් නිපදවූ වාර්තා චිත්‍රපටය The Game of their Lives (ජීවිතයේ හොඳම තරඟය) නමින් විකාශය වූයේය.

About The Author

Related posts

Leave a Reply