December 11, 2017

බහරේනයෙන් එන සංචාරකයන් සියයට 400 ක වැඩිවීමක්

බහරේනයෙන් එන සංචාරකයන් සියයට 400 ක වැඩිවීමක්

බහරේනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව පසුගිය වසර තුලදී සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළේය.

බහරේනයේ ගල්ෆ් ඩේලි නිව්ස් පුවත්පත සමඟ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2016 දී සෑම මාසයකම සාමාන්‍යයෙන් 1,000 ක පමණ සංචාරකයන් පිරිසක් බහරේනයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ය.

මේ අනුව 2016 ට පෙර බහරේනයෙන් වාර්ෂික සංචාරක ආගමනය 2,9000 ක් පමණ වූ නමුත් 2016 දී එම සංඛ්‍යාව 13,000 දක්වා වැඩි වූ බව තානාපතිවරයා ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සේවය බහරේනයට සෘජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම ද ඊට හේතු වූ බව ඔහු පවසයි. එමෙන්ම ලබන වසරේ සිට බහරේනයේ ගල්ෆ් එයාර් සමාගම ද කොළඹ සමඟ සෘජු ගුවන් ගමන් වාර අරඹනු ඇත.

ලබන වසරේදී බහරේනයෙන් සංචාරකයන් 25,000 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ග්‍රී ලංකා තානාපතිවරයා විශ්වාසය පළ කල බව ගල්ෆ් ඩේලි නිව්ස් පුවත්පත සඳහන් කළේය.

බහරේනයේ ජනගහනය මිලියන 1.3 කට මඳක් වැඩි බව ඇස්තමේන්තු කර ඇත. ඉන් අඩකට මඳක් වැඩියෙන් සිටින්නේ පිටරටින් පැමිණි අය ය. 2010 ජන සංඝනනය අනුව බහරේන වැසියෝ 568,399 ක් සහ විදේශිකයෝ 666,172 ක් එරට විසූ හ. එවන් සාපේක්ෂව කුඩා ජනගහනයක් ඇති රටකින් 25,000 ක් සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණේ නම් එය ධනාත්මක තත්ත්වයක් බව කිව යුතු ය.

About The Author

Related posts

Leave a Reply