December 11, 2017

නැගෙනහිර අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම

නැගෙනහිර අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම

නැගෙනහිර අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම 1950 ගණන්වල සිට 1989 දක්වා පැවති ක්‍රිකට් කණ්ඩායමකි. එයට කෙන්යාව, ටැන්සානියාව (කළින් ටැන්ගනීකාව), උගන්ඩාව සහ සැම්බියාව (කළින් උතුරු රොඩේසියාව) යන රටවල් ඇතුලත් විය. 1966 සිට 1989 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ‘අර්ධ සාමාජිකත්වය’ (Associated Membership) ඉසිලූ මෙම කණ්ඩායම 1975 දී පළමුවැනි ලෝක කුසලානයට ද සහභාගී වූයේය.

1981 දී කෙන්යාව වෙනමම අර්ධ සාමාජිකයකු බවට පත් වූ පසු නැගෙනහිර අප්‍රිකාවට අයත් වූයේ ටැන්සානියාව, උගන්ඩාව සහ සැම්බියාව පමණි.

නැගෙනහිර අප්‍රිකාව මුලින්ම විදෙස් කණ්ඩායමක් සමඟ තරඟයකට සහභාගී වූයේ 1958 දී ය. ඒ දකුණු අප්‍රිකානු ‘යුරෝපීය නොවන’ කණ්ඩායමක් සමඟය.

නැගෙනහිර අප්‍රිකාව 1975 ලෝක කුසලානයට සහභාගී විය. එහිදී A කාණ්ඩය යටතේ තරඟ වැදුන ඔවුන් තරඟ තුනකට සහභාගී වී තුනෙන්ම පරාජය විය.

නවසීලන්තය සමඟ කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු 128 ඔවුනගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර අඩුම ලකුණු සංඛ්‍යාව එංගලන්තයට එරෙහිව සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 94 ය. ෆ්‍රසට් අලී නවසීලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 45 එම කණ්ඩායමේ ක්‍රීඩකයකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ය. එංගලන්තයට එරෙහිව සුල්ෆිකාර් අලී ලකුණු 36 කට කඩුලු තුනක් දවාගැනීම එම පිළෙහි හොඳම පන්දු යැවීම විය.

නැගෙනහිර අප්‍රිකාව 1979, 1982 සහ 1986 ICC කුසලානයේ පළමු වටයෙන් ඉවත් විය. එම කණ්ඩායම යළිත් කෙදිනක හෝ ජාත්‍යන්තර තරඟවලට සහභාගී නොවීය.

About The Author

Related posts

Leave a Reply