December 11, 2017

මනමේ – ශ්‍රී චනද්‍රරත්න මානවසිංහයන්ගෙන් ඇසින්

“අපේ විශ්ව විද්‍යාලයෙනුත් වැඩක් හැටියට වැඩක් කෙරී තිබෙනවා “යැයි කෙනෙකුගේ කටින් නිකම් ම කියැවෙන තරමට හොඳින් මනමේ අභිරංගණය රඟපළට ඉදිරිපත් කර තිබුණේ ය.

අභිරංගණය

“අභිරංගණය “යැයි මෙයට ‘වගතුග’ තීරයෙන් අමුතු නමක් තැබීමට සිදු වී ඇත්තේ එය නාඩගමක් හෝ නාටකයක් හෝ තනිකර මුද්‍රාවක් හෝ නොවන බැවිනි.එය එහෙම් පිටින් ම කලා සංකලයෙන් බිහි කරන ලද අමුතු නාටක විශේෂයකි.

නිපදවීම

මේ අභිරංගණය ආචාර්‍ය සරච්චන්ඳ්‍රයන්ගේ නිපදවීමකි.නාටක කලාවේ අතේ ගිය ඔහුගේ ම පරිචිත භාවයත් ,අපේ පැරැණි නාඩගම් ලක්‍ෂණත්,රටින් රට යාමෙන් ඔහු දුටු ,රස විඳ ගත් කලා දර්ශනයන්ගෙන් ලැබූ අභාසයත් උපයෝගී කරගෙන නිපදවන ලද නව නිර්මාණයක් හැටියට එය හැඳින්විය හැකි ය.

මුල් ලක්‍ෂණය

කරලියේ රඟපාන නළුවන්ගේ ගායනයෙහි අත්වැල ගන්නා කාන්තයන්ගෙන් හා නිළියන්ගේ හායනයෙහි අත්වැල ගන්නා කාන්තාවන්ගෙන් සමන්විත ව වේදිකාවේ පසෙක පෙළට අසුන් ගෙන සිටින කණ්ඩායම් දෙකකි.මෙය අපේ ජාතික නාටක උපතට නෑකම් කියන්නකි.බලියේත් ස්ත්‍රෝත්‍ර ගණයට අයත් නැටුම්වලත් තොයිලයේත් ගායනයට අත්වැල් ගන්නා අය වෙන ම සිටිති.දැනුදු පිටිසර වන්නිකරයේ තොයිල්වල දි තොයිලය බැලීමත එන ගම්මු පසෙක හිඳ ගෙන ඇදුරා කියන කවි පද ම යළිත් කියති. ගීතවත්‍ ය.

නාඩගම්වල මෙන් සරල නර්තන ලීලාවකින් වේදිකාගත වන නළු නිළියෝ ගීත සංවාදයට ද ගීතවත් වැකියෙන් කෙරෙන සංවාදයට ද බසිති.නොගැඹුරු ,නොකැලඹෙන හඬක් ගැට බෙරයෙන් එයි.එය වේදිකාවත් නළුවාගේ පයත් අතරින් ඇදී බෙරය ඔස්සේ එන හඬක් බඳු ය.නළුනිළියෝ සමහර තැන හඬ උස්සති. ඒ එසවිය යුතු තැන ම ය. අහිංසක භාවය ආ තැන නළෙවාගේ හෝ නිළියගේ හෝ ස්වරයේත් කියැවෙන ගීතයේත් අභිනයේත් මුද්‍රා ලක්‍ෂණයේත් වැටෙන ආලෝකයේත් හැම තැන ම එය සටහන් වෙයි.උද්‍යෝගය, ප්‍රභාවය, ශාංකාව, උත්කර්‍ෂ්‍ය, ප්‍රකර්‍ෂය, අකාර්‍ෂ්‍ය, ආසක්තය, ශෝකය, ම්ලානය යන හැම භාව මාත්‍රයක් ම වේදිකා තලයෙන් ගලා ආවේ එයාකාරයෙන් හැම අංගෝපාංගයක් ම උපයෝගී කර ගෙන ය

මෝහනය

මනමේ අභිරංගණය බලා සිටි කාටත් රසයක් ලැබුණු බව ඇත්තකි. එහෙත් කලාව හඳුනන නෙත් කන් ඇතියවුන්ට ඒ ගත කළ දෙපැය තුළ ඇති වූ කලා මෝහනයේ මත් ගතිය කලක් රැඳී පවතින්නේය. එය එතරම් රසවත් වූයේ ඉතා සුළු දෙය පවා අත් නොහැර සැලකිල්ලක් දක්වා කිසියම් කලාංගයක තරංගයක් මතු වන සේ පිළියෙල කර තිබීම නිසා ය.අකුර,ඉස්පිල්ල,පාපිල්ලයෙදෙන තැනින් ,යෙදුණු අකාරයෙන් ඇති වන රසය තේරුම් ගත හැක්කේ කිවිවරයෙකුට ය.එමෙන් ම මෙවැනි කලා නිර්මාණයක සියුම් තැන් ගැන සිත පැටලී වෙළී යන්නේ කලාව හඳුනන කෙනෙකුන්ගේ පමණී.එය ඔහු ඇහින් කනින් ලබන උසස් ම ප්‍රතිඵලය යි

නළු නිළියෝ

මනමේ බිසොව වෙසින් පෙනී සිටි නිළිය ගැන කිව යුත්තේ කවදා හෝ මනමේ බිසොවක වූයේ නම් ඒ මේ බිසොව ම බව ය.සැමියාගේ මරණයට හේතු වන සේ ක්‍රියා කිරීම ගැන චෝදනාවට ලක් විය යුත්තේ ගැහැනු සිතේ පමණක් ඇති වන සටකපටකම ද එසේ නැති නම් නොමේරූ බොළඳ සිතක හදිසි පරිවර්ත්නයක් ද එසේත් නොවී නම් මොන හේතුවක් වත් ගණන් නොගෙන තියෙන අවාසනාවන්තකම ද නැතහොත් යුක්ති ගරුක භවයට එක වූ අවස්ත්වාත නොහැළපෙන අනුකම්පාවක් ද යන්න ප්‍රශ්න අතරේ පාවී ගිය අභුරූපිකාවක් දකනට ලැබුණේ එම නිළියගේ ස්වාභාවික හැකියාවට එක් වූ ඇඳුම් ආයිත්තම් ,වර්ණ සැරසිලි, ආදියට පණ දුන් සරච්චනද්‍රයනගේ පුහුණුව නිසා විය යුතු ය.පොතේගුරා නම් වරක් දුටුවෙකුට කිසි සේත් අමතක නොවෙන්නෙකි.කළු රවුල,සුදු අපූරු දත් පෙළ ,වෙලාවට සන් නැගෙන බැම,කටහඬ ,හොඳ තරමේ සිරුර යන හැම එකකින් ම ඔහු සිහියේ රැඳී සිටින කෙනෙකි.මනමේ කුමරුත් වැදි රජත් එක තරමට ම දක්‍ෂයෝ ය.මනමේ කුමරුන්ගේ ඇඟපත තරමක් තර වැඩි ය.ඔහුගේ කොටස ඉති කිරීමට එය බාධාවක් නොවී ය.වැදි රජුගේ ක්‍ෂණික පරිවර්තනය තවත් ඔඇහැදිලි වන්නට රුකුල් දුන්නේ නම් තවත් හොඳ විය හැකි ය.දිසාපාමොක් ඇඳුරිඳු ද සුදුසුකම් ඇති නළුවෙකු බව කිව යුතු වෙයි.ඇතැම් තැන ගීතයත් භාව නිරූපණයත් එක් වන විට වේදිකාවේ නැති නැති දේ මැවී පෙනෙන තරමට ගැළපී තිබුණේ ය.

නාටකයක ප්‍රධාන එක් චරිතයක් හරිහැටි නිරූපණය වන්නට ඉඩ දීම මුළු කථාවේ සියලු ම සටහන්වලට පණ දීමකි.චරිත නිරූපණයේ ලක්‍ෂණවලට හිත කා වැදී යාම නිසා මනමේ කථාවේ අලුත් ප්‍රාණවත් ගතියකින් යුත් විය.ඇසූ පමණින් ලැබෙන විනිශ්චයට වඩා විචාරවත් ලෙස කරුණු කිරා බලමින් කියවා රස විඳ ලබන අලුත් විනිශ්චයන්ගෙන් යුතු වන සේ කථාවකට පණ දීම චරිත නිරූපණය කෙරෙහි බලපාන කලාවේ හාස්කමකි.එවැනි චරිත නිරූපණයක් කළ හැක්කේ අවබෝධයත් පළපුරුද්දත් සහජ දක්‍ෂකමත් ඇති කලාකරුවකුගේ පුහුණුවට එක් වුණු නළුනිලියන්ගේ උපන් හපන්කමුත් ඇති වූ විට ය.මනමේ අභිරංගණය නැවත නැවතත් බැලීමට සිත් දෙන එකකි,අචාර්‍ය සරච්චනද්‍රයන්ගෙන් තවත් අභිරංගණය්ක් කළඑළි දකීවා!අභිරංගණය ජාතියේ කවදත් පවත්වා ගෙන යා හැකි නාටක විශේෂයක් වනවා ඇත

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

වගතුග 1956 නොවැමබර් මස 6 වන දින
(මේ තීරු ලිපිය පිළිබඳව අප මතකය නැවත දල්වා ලු බුද්ධදාස ගලප්පත්ති සාහිත්‍යධරයාණන්හට විශේෂ ස්තූතිය පිරිනමමු)

About The Author

Related posts

Leave a Reply